සිව්මහා වානිජ නගර අතරට හම්බන්තොටත් ගේනවා

සිව්මහා වානිජ නගර අතරට හම්බන්තොටත් ගේනවා - ජනපතිගෙන් පොරොන්දුවක්

by Staff writer 02-08-2020 | 8:48 PM
COLOMBO (News 1st): අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත සිව්මහා වානිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය ද එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජනහමුවලට එක් වෙමිනි. චමල් රාජපක්ෂ මහතා විසින් තිස්සමහාරාම බස් නැවතුම්පොළ අසල සංවිධානය කළ ජන හමුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව එක්විය. එහිදී කොළඹ, යාපනය, ත්‍රීකුණාමලය සිව් මහා වානිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. සිව් මහා නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර සී හැඩය ගන්නා, ආර්ථීක කොරිඩෝව නිර්මාණය කර, ජාත්‍යන්තර වෙළඳපොළ හා තරග කරන රටක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. අපේක්ෂක හර්ෂ උදය කුමාර ජයවීර මහතා ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ භූමියේ සංවිධානය කළ ජන හමුවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාට පැමිණ සිටි ජනතාව තම ගැටලු ඉදිරිපත් කළේය. හම්බන්තොට, මහානාගපුර සහ ලුණුගම්වෙහෙර මහා විද්‍යාලවල අඩුපාඩු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. මෙම ජන හමු සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එක්ව සිටියහ. මෙම ජන හමුවලදී කොවිඩ් අරමුදල් සදහා දරුවන්ගේ පරිත්‍යාග ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය. මේ අතර අපේක්ෂක සංජීව ගලප්පත්ති, අජිත් රාජපක්ෂ සහ අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සංවිධානය කළ ජන හමුවලට ද ජනාධිපතිවරයා එක් විය.