මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්: නීති විරෝධි කටයුතුවල යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම්

by Staff writer 02-08-2020 | 7:20 AM

COLOMBO (News 1st) - මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ අනුව ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරන පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවයි. අද මධ්‍යම රාත්‍රී 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීති විරෝධි ක්‍රියාවලින් වැලකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලීමක් කර තිබේ. ලබන 05 වැනි දා පැවැත්නෙ මහ මැතිවරණ ඡන්ද විමසීම සඳහා මූලික සැලසුම් සියල්ල සකස් කර ඇති බව ද ඔහු පැවසීය. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.