සම්පායෝ අත්අඩංගුවට

අනුරුද්ධ සම්පායෝ කුරුණෑගලදී අත්අඩංගුවට

by Staff writer 02-08-2020 | 4:30 PM

COLOMBO (News 1st) - අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, කුරුණෑගලදී අත්අඩංගුවට ගත් එම සැකකරු මේ වනවිට මීගමුව පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටින බවය. අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව ද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය 22 වැනිදායි. ඒ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙනි. කූඨ ලේඛන සකස් කර, බන්ධනාගාර ගත රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු තහනම් භාණ්ඩ ලබා දීම සම්බන්ධයෙන් ද අනුරුද්ධ සම්පායෝ මහතාට චෝදනා එල්ල විය. සිද්ධියට අදාළව මීට පෙර අධිකරණයට භාර වූ ජේලර්වරුන් තුන් දෙනා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ඉන්දික සිල්වා මහතා පසුගියදා නියෝග කළේය එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ ප්‍රධාන ජේලර් උපාලි සරත් බණ්ඩාර, දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න හා තවත් ජේලර්වරයෙකු වූ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල යන නිලධාරීන්ය.