ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති

ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති

by Staff writer 01-08-2020 | 7:17 AM

COLOMBO (News 1st) - පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති.

නබිනායකතුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් - උල් - අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි. කොවිඩ් වසංගතය හමුවේ සුපුරුදු ලෙස මක්කම වන්දනා කිරීමට මුස්ලිම් ප්‍රජාවට නොහැකි වුව ද එම වන්දනාව තුළින් පිළිඹිබු වන අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්යෝගය වර්ධනය කර ගැනීමට මෙදවස උපකාරී වනු ඇතැයි හජ් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එහි දැක්වෙන්නේ, හජ් උත්සවයේ වැදගත්කම වටහාගෙන සිටින ශ්‍රී ලාංකික රජය, මුස්ලිම් ප්‍රජාවට සිය ආගමික වතාවත්හි නිරතවීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවය. ශුද්ධ කුරාණයේ ඉගැන්වීම් අනුව යමින් අතීතයේ සිට සියලු ආගමිකයින් සමග සමගිව විසු මෙරට මුස්ලිම් ප්‍රජාව අනාගතයේදී දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේ ය. හජ් උත්සවය වෙන්වෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් 19 වැළැක්වීමේ පියවර සහ නිර්දේශ අනුගමනය කරමින් නිවසට සීමා වී චාම් ව හජ් සැමරීමට සිදුව ඇති බවයි. ලෝක වාසී ජනයා මුහුණ දෙන කොරෝනා ව්‍යසන තත්ත්වය ඉක්මනින් පහව යන ලෙසත්, එයින් ජනතාව ආරක්ෂා කර දෙන ලෙසත් අද දිනයේදී හජ් උත්සවය සමරමින් අල්ලාහ් දෙවියන්ගෙන් යැදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.