PCR පරීක්ෂණත් අද සිට වැඩි කිරීමට සැලසුම්

කොරෝනා අවදානම පහව ගොස් නැහැ... - සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

by Staff writer 01-08-2020 | 8:17 AM

COLOMBO (News 1st) - පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයින් 300 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, පසුගිය දා එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගය. ඒ අනුව හිඟුරක්ගොඩ සහ තමන්කඩු සෞඛ්‍ය වෛද්‍ය නීලධාරී කොට්ඨාසවල ද පුද්ගලයින් 58 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා කරනු ලබන පී. සී. ආර් පරීක්ෂණ සඳහා මේ වනවිට රුපියල් බිලියන 1.3 ක් වැය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. නිව්ස්ෆස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි. මේ අතර පී. සී. ආර් පරීක්ෂණ එක්ලක්ෂ හැට දෙදහසක් පමණ මේ වනවිට සිදු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, සමාජයෙන් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 40,000 ක් ද පී.සී.ආර් පරීක්ෂාව සඳහා යොමු කළ බවය. දෛනිකව සිදු කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2815 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ, ඊයේ නව ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගය. එම අසාදිතයා පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයාගේ බිරිඳ බව සෞඛ්‍ය අංශ තහවුරු කළේ ය. ආසාදිතයින් 413 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනු ඇති. සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2391 කි.