by Sagarika Chathumali 01-08-2020 | 9:57 PM
COLOMBO (News 1st) : බස්නාහිර බුද්ධි කොට්ඨාසය ඊයේ සහ අද දිනයේ ස්ථාන දෙකක සිදු කළ වැටලීම් හෙරොයින් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පුද්ගලයින් තිදෙනෙකු රාජගිරියේ පෞද්ගලික බැංකුවක ගිණුමකින් රුපියල් ලක්ෂ 750ක මුදලක් ලබා ගැනීමට කටයුතු කරන බවට ලද තොරතුරක් මත එක් වැටලීමක් සිදු කළ බවයි.
එහිදී පිරිස පැමිණි මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 9යි මිලි ග්‍රෑම් 65ක් ද සොයා ගෙන තිබේ.
පසුව කළ විමර්ශනවලදී මොවුන් හෙරොයින් ජාවාරමේ නිරත වන බවට අනාවරණය වී ඇති අතර අද අලුයම පැලවත්තේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ගෙන ලද එම තොරතුරු මතයි.
මේ අතර මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් හෙළි කර ගැනිමට පොලීසිය සමත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත්තේ, අවුරුදු 32, 38 හා 42 යන වයස්වල පසුවන වව්නියාව, පන්නිපිටිය, පිටකෝට්ටේ හා බත්තරමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකි.
අත්අඩංගුවට පත් වව්නියාවේ පදිංචි සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් රටකින් රුපියල් ලක්ෂ 750ක් බැරවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
බත්තරමුල්ල පදිංචි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙනත් පුද්ගලයින් 5 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත රුපියල් කෝටි 31කට අධික මුදලක් හා අමෙරිකානු ඩොලර් 469,000 ක මුදලක් විදෙස් රටවලින් ලැබී ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.