දේශපාලන යතුරු පැදි සවාරි තරුණයෙකු අනතුරට ලක්කරයි

දේශපාලන යතුරු පැදි සවාරි නාත්තන්ඩියේදී තරුණයෙකු අනතුරට ලක්කරයි

by Staff writer 30-07-2020 | 9:44 PM
COLOMBO (News 1st) : යතුරු පැදිවල නැගී ආනාරක්ෂිතව දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකරන අයුරු මේ දිනවල සමාජයේ සංවාදයට ලක්වී තිබේ. එවැනි අවස්ථාවකට සහභාගිවීම සඳහා යමින් සිටි යතුරු පැදියක් පසුගිය දිනක නාත්තන්ඩියේදී තරුණ යුවලක් අනතුරට ලක් කර තිබිණ. තරුණයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාද්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය ඉරිදා උදෑසන 10 ට පමණ නාත්තන්ඩියේදී මෙම අනතුර සිදුව තිබිණ. තල්ගහපිටියේ සිට මෝදර දක්වා කුඩා යතුරු පැදියක ගමන්කරමින් සිටි තරුණ යුවලක් නාත්තණ්ඩියේදී විරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පැමිණි යතුරු පැදියේ ගැටී තිබේ. පොලීසිය පැවසුවේ අනතුර සිදුකළ යතුරු පැදිය මෙරට ලියාපදිංචි කර නොමැති බවයි. එන්ජින් ධාරිතාව සීසී 450 දක්වා යතුරු පැදි මෙරට ලියාපදිංචි කළ හැකි අතර එය ඉක්මවා ඇති යතුරු පැදි මෙරට තුළ ධාවනය තහනම් වේ. අනතුරින් බරපතළ තුවාල ලැබු 26 හැවිරිදි අශේන් අවිශ්ක නමැති තරුණයා දින 5 ක් තිස්සේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ බිරිඳ මේ අනතුරින් තුවාල ලැබුවා ය. මේ යුවල විවාහවී තිබුණේ, පසුගිය ජනවාරි මාසයේදී ය. අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිය පැදවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අනතුරට පත් තරුණයාගේ පාර්ශ්වයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක සනත් නිශාන්ත මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ එය අසත්‍යයක් බවයි. අදාළ පුද්ගලයා සිය රැළියක් සදහා පැමිණෙමින් සිටි අයෙකු නොවන බව ද සනත් නිශාන්ත මහතා කියා සිටියේ ය. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේම සනත් නිශාන්ත මහතා සේරුකැලේ , මුදුකටුව, කල්පිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයක යතුරු පැදියකින් හිස් වැසුම්ද නොපැළඳ ගමන් කරන අයුරු දක්නට ලැබිණ. https://www.facebook.com/NewsfirstSL/videos/623745331872171/