රටේ ආර්ථිකයට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ?

රටේ ආර්ථිකයට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ?

by Staff writer 29-07-2020 | 7:56 PM

COLOMBO (News 1st) - අපේ රටේ ආර්ථිකයට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත අනුව රටේ බොහෝ අංශවල පෙන්නුම් කරන්නේ පසුබෑමකි. මේ වසරේ පළමු මාස හතර තුළ සිදුව ඇති කැපී පෙනෙන ආර්ථික වෙනස රජයේ ආදායම අඩුවීමයි. 2019 පසුගිය වසරේ පළමු මාස හතරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 598.1 කි. එය මේ වසරේ පළමු මාස හතර තුළ රුපියල් බිලියන 476.7 ක් දක්වා අඩුවී තිබේ. බදු ආදායම කැපී පෙනෙන ලෙස පහත වැටීම මේ තත්ත්වයට හේතුවයි. රජයේ ආදායම අඩු වුණත් වැටුප් ගෙවීම් අතුළු එදිනෙදා වියදම් නැත්නම් පුනරාවර්තන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එය වසරේ පළමු මාස 4 තුළ රුපියල් බිලියන 820.7 කි. රාජ්‍ය ආදායම් අඩුවීමට කොරෝනා වසංගතයෙන් සේවා අංශයට සිදුව ඇති බලපෑම ද හේතුවකි. විශේෂයෙන් මෙරටට විදේශීය මුදල් ලැබුණු ප්‍රධානම මාර්ගය වූ විදෙස් රැකියාවල නියුතු අය රටට එවූ මුදල් මේ කාලය තුළ සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත. පසුගිය වසරේ පළමු කාර්තුවේ අමෙරිකානු ඩොලර් බිලියන 3.27 ක් අපේ රටේ ජනතාව විදේශවල සිට රටට එවා තිබුණි. මේ වසරේ මුල් මාස තුනේදී පමණක් එය අමෙරිකානු ඩොලර් බිලියන 2.98 ක් දක්වා අඩුවී තිබේ. පසුගිය වසරේ අප්‍රෙල් 21 ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක ක්ෂේත්‍රයට කොරෝනා නිසා යළි ත් සිදු වූ බලපෑම සුළුවෙන් සැලකිය නොහැකියි. ජනවාරි,පෙබරවාරි හා මාර්තු යන මාස තුන ඇතුළත රටට පැමිණි විදේශ සංචාරකයින් ගණන පන්ලක්ෂ හත්දහස් තුන්සිය එකොලහකි. එය 2019 වසරේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ කියන්නේ මුල් මාස 3 අතුළත පැමිණි සංචාරකයින් ගණනට වඩා 50% ක් අඩුවීමකි. සංචාරක කර්මාන්තය අඩපණවීම හා විදේශගත ශ්‍රමිකයින් රටට එවන මුදල් අඩුවීමෙන් වෙන්නේ රටට එන විදේශීය මුදල් ප්‍රමාණය අඩුවීමයි. අමෙරිකානු ඩොලරය ඉදිරියේ රුපියල වේගයෙන් අවප්‍රමාණයවීම එහි බරපතළ ප්‍රතිවිපාකයකි. වසරකට පෙර අමෙරිකානු ඩොලරයක් සඳහා වූ රුපියල් ප්‍රමාණය 175.88 කි. මේ වන විට අමෙරිකානු ඩොලරය, රුපියල් 188 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙවැනි තත්ත්වයක් තුළ අතිවිශාල ප්‍රමාණයක ණය වාරික හා පොලී ගෙවීමේ අභියෝගයකට ද දැන් අප මුහුණදී සිටි. මහ බැංකුවේ දත්තවලට අනුව නම් මේ වසරේ අප්‍රේල් මාසය වනවිට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13 ඉක්මවා තිබුණි. 2019 වසරේ අවසාන වනවිට රටේ මුළු ණය ප්‍රමාණය තිබුනේ ට්‍රිලියන 13 සීමාවේය. කොරෝනා නිසා යම් සහන ලැබුනත් මේ වසරේ අතිවිශාල ණය සහ පොලී ගෙවීමට අපට සිදුව තිබේ. රටේ ආදායමත් අඩුවෙලානම්, විදේශීය මුදල් ගලා ඒමත් සීමාවෙලානම් ණය ආපසු ගෙවීමේ ඊළඟ උපක්‍රමය අපේ සංචිතවලින් ණය ගෙවා දැමීමයි. පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දා වනවිට විදේශ මුදල්වලින් පැවති සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6609.1 කි. පසුගිය ජුනි 30 වැනි දා වනවිට පැවති සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6240.1 ක් දක්වා අඩුවී තිබේ. දෙසැම්බර් 31 වැනි දා වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 954.9 ක් පැවති රං සංචිතය ද ජුනි 30 වැනි දා වනවිට ඩොලර් මිලියන 383.6 ක් දක්වා අඩුවීම කැපීපෙනෙන තත්ත්වයකි. දුෂ්කර ආර්ථික තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුව දැන් යොදාගෙන ඇති ප්‍රධානම උපායක් වන්නේ මාස කිහිපයක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පිටරටවලින් ගෙන්වීම තහනම් කිරීමයි. තව ත් බරපතළ අභියෝගයකට රටේ ආර්ථිකය මුහුණදී සිටි. අවස්ථා 8 කදී ශ්‍රී ලංකා මහ බැංකුව 2.5% කින් පොලී අනුපාත පහත දැමුවේ ය. ණය පැත්තෙන් බලද්දී ඒක සහනයක් වුණත් ඉතුරුම්වලට ඉන් සිදුවී තිබෙන බලපෑම බරපතළයි. මේ වනවිට රජයේ සුරැකුම්පත්වල පොලිය අවුරුද්ද මුල තිබුණ ප්‍රමාණයට වඩා 4% කින් පමණ අඩුවී තිබේ. හොඳ පොලී ආදායමක් නැතුව ජනතාව ඉතුරුම්වලට ආකර්ශනය වෙන්නේ නැත. ඉතුරුම් අඩුවෙනවා කියන්නේ තව ත් පැත්තකින් ආර්ථිකය විශම චක්‍රයකට තල්ලු කිරීමකි. එවැනි පසුබිමක අවුරුදු ගණනක් සේවය කරල විශ්‍රාම ගන්න ජනතාවට සහනයක් විදිහට තියෙන අරමුදල් දෙකත් දැන් අර්බුදයකට පත් කර ඇත. සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල එහි තැන්පතුවලට ගෙවන පොලිය 1 % කින් අඩුකර ඇතැයි ප්‍රකාශ කළේ ය. ඒ අනුව 9 % ක්වූ පොලී අනුපාතය දැන 8 % ක් බවට පත්ව ඇත. සේවක අර්ථසාධක අරමුදලට බිලියන ගණනක පාඩුවක් වෙලා තිබුනේ අවිධිමත් ආයෝජන නිසාය. ජනතා මුදල් අවිධිමත් ආයෝජනවල නොයොදවා විධිමත් ආයෝජනවල යෙදවූයේනම් අද මීට වඩා හොඳ ප්‍රතිලාභ ජනතාවට ලබාදිය හැකිව තිබුණි. කෙසේවෙතත් අතිවිශාල අරමුදල් දෙකක් දැන් තියෙන්නේ ගැටලු සහගත තත්ත්වයකය. අඩුම තරමේ මේ අරමුදල් හරියට කළමනාකරණය කළා නම් ආර්ථික පත්වෙලා තියෙන තත්ත්වයෙන් ගොඩට ගන්න රුකුලක් වන ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/3166690060078033/