පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම් අත්හිටුවයි

පාසල් දින සැමරුම් හා විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව නවතී

by Staff writer 29-07-2020 | 9:57 AM
COLOMBO (News 1st) : පාසල් ආශ්‍රිතව සංවිධානය වන දින සැමරුම් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි. අදාළ ක්‍රියාකාරකම් දෙවන පාසල් වාරය තුළ සංවිධානයට කිසිදු අයුරකින් අවසර ලබා නොදෙන බව ද ඔහු පැවසී ය. ලේකම්වරයා සඳහන් කළේ, තෙවන පාසල් වාරයේදී ඊට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් යළි සලකා බලන බවයි. මේ අතර පාසල් ක්‍රීඩා කණ්ඩායම් සාමාජිකයින්ට පුහුණු වීම් සඳහා අවසර ලබා දී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අධ්‍යන කටයුතුවලට බාධාවක් නොවන පරිදි එම කටයුතු සැලසුම් කළ යුතු බවයි.