LPL 20/20ට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබෙයි

LPL 20/20 තරගාවලියට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය

by Staff writer 28-07-2020 | 5:19 PM

COLOMBO (News 1st) : ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එම තරගාවලිය ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත ය. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය තරග 23 කින් සමන්විතයි. කොළඹ ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය ලෙස කණ්ඩායම් 5 ක් එහිදී තරග වදිනු ඇති. ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 කට අධික පිරිසක් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පුහුණුකරුවන් 10 දෙනකුට අධික පිරිසක් තරගාවලියට සහභාගිත්වය තහවුරු කර ඇතැයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ඔවුන් සමග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ද තරගාවලියට එක්වීමට නියමිතයි.