මත් උවදුර මඩින්න ජනපති ජනතා සහය ඉල්ලයි

මත් උවදුර මඩින්න ජනපති ජනතා සහය ඉල්ලයි

by Staff writer 28-07-2020 | 8:51 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහය පළ කිරීමේ ජනතා හමු කිහිපයකට සහභාගිවිය. ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලි සිටියේ, මත්උවදුර මැඩලීමට නොබියට තොරතුරු ලබාදෙන ලෙසයි. හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තලවතුගොඩ දී සංවිධානය කර තිබූ ජන හමුවකට ජනාධිපතිවරයා සහභාගි විය. එහිදී ප්‍රදේශයේ ජනතා ගැටලු රැසක් සවිස්තරව ජනාධිපතිවරයා වෙත යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර බේරා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
''දැන් ගම්වලට ගියහම භය නැතුව කථා කරනවා. පැහැදිලිව පේනවා දැන් භය නැහැ. අපි හැම තිස්සේම කිව්වේ මේ තොරතුරු එවන්න. එතකොට අපිට ගමේ මට්ටමින් අල්ලගන්න පුළුවන්''
මෙහිදී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, ජනතාව මෙතෙක් කල් කතා කිරීමට බියෙන් සිටි බවයි. ''මේ ගොල්ලෝ සර් කථා කරන්න බයේ හිටියේ දැන් තමයි කථා කරන්නේ'' රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දී තිබේ. ''අපි කියලා තියෙනවා නේ රාජ්‍ය ආයතනවලට දේශීය මෙව්වා පාවචිච්චි කරන්න කියලා. මෙහේ හදන පර්නිචර් පාවිච්චි කරන්න කියලා'' මේ අතර පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් කුමාර මහතා විසින් බත්තරමුල්ලේදී සංවිධානය කර තිබූ ජනතා හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය. මෙහිදී ජනතාව ඉල්ලා සිටියේ, බොහෝ පිරිසක් කුලී පදනම මත සිටින බවින් නිවාස සාදා දෙන ලෙසයි. බන්ධනාගාර රැඳවියන් නඩත්තුවට රජයෙන් වියදම් නොකර ඔවුන් ආර්ථික උත්පාදන ව්‍යාපෘති සඳහා යොදවා වියදම් පියවා ගැනීමට ජනතාව මෙහිදී යෝජනා කර තිබේ. පාසල් දරුවෙකු අධික බර පාසල් බෑගය වෙනුවට සරළ බෑගයක් හඳුන්වාදීමට මැදිහත් වන්නැයි ද එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ය. වසර 47ක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුව සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. තිලකරත්න මහතා ඇතුළු පිරිසක් එහිදී ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහය පළ කළේ ය. පාර්ලිමේන්තු අපේක්ෂක මධුර විතානගේ මහතා කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජනතා හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය. එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ට හැකි උපරිම සහන සලසන බවයි. මධුර විනාතගේ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබී ය. අනතුරුව මොරටුව ප්‍රදේශයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක සමන් ලාල් ප්‍රනාන්දු මහතාට සහාය පළ කිරීමට ජනාධිපතිවරයා එක්විය. මෙහිදී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, කුඩු සහ පාතාලය අවසන් කර දෙන ලෙසයි. අනතුරුව අපේක්ෂක ජනක රණවක මහතාට සහාය පළ කළේ, නුගේගොඩ නගරයේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/284191812671242/