පුරාවස්තු වැනසූවන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?

පුරාවස්තු වැනසූ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?

by Staff writer 28-07-2020 | 9:12 PM
COLOMBO (News 1st) : කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, ඉල්ලා ජාතික ජනබල වේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අද අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය. නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා, කුරුණෑගල නගරාධිපතිවරයා සහ කුරුණෑගල මහ නගර සභාව නම් කර තිබේ. II බුවනෙකබාහු රජතුමා විසින් භාවිත කළ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කුරුණෑගලග නගර මධ්‍යයේ පිහිටි එම රාජසභා මණ්ඩපය පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් බවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා විසින් කුරුණෑගල නගරාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබියදී එකී දැනුම්දීම පිළිබඳව කිසිදු තැකීමක් සිදුනොකර නගර සභාවට අයත් බැකෝ යන්ත්‍ර යොදවා සිදුකර ඇති එකී විනාශය බරපතල අපරාධයක් බව ද පෙත්සම්කරු අභියාචනාධිකරණයට පෙන්වාදී තිබේ. මේ අතර කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල පිළිබඳ සියලු ලිපිගොනු අදම අධිකරණ භාරයට පත්කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට අධිකරණය නියෝග කළේ ය. ප්‍රශ්නගත කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල මෙලෙස කඩා දමා තිබුණේ ඉකුත් 14 වෙනිදා රාත්‍රියේයි. එය කඩා දමා අදට දින 14ක්. රැකගත යුතු පුරා වස්තු විනාශ කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? ජනතාව අවධානයෙන්....! https://www.facebook.com/NewsfirstSL/videos/294679725211683/