COLOMBO (News 1st) : පාර්ශව 2ක් අයිතිවාසිකම් කියන අක්කර 32 ක නිට්ටඹුවේ ඉඩම් ආරවුලක් ගැන අප ඊයේ (27) ද තොරතුරු වාර්තා කළේ ය.
මේ වන විට පැන නැගී ඇති ප්‍රශ්නය ඉඩමේ අයිතිවාසිකම කාට ද කියන කරුණ නොවන අතර ප්‍රශ්නය වී ඇත්තේ, ඉඩමේ සැබෑ හිමිකරුට කුමක් සිදුවූවේ ද යන්නයි.
කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මෙම ඉඩමේ සැබෑ හිමිකරුවා මාස කිහිපයකට පෙර ඝාතනයට ලක්වී ඇත.
මේ ඝාතන අභිරහස පිටුපස ඇත්තේ දේපොළ ආරවුලක් ද?
ක්‍රිස්ටෝපර් අශෝක දසනායක ඉතා වටිනා දේපොළ රැසකට හිමිකම් කී ව්‍යාපාරිකයෙකි.
මේ වසරේ ජනවාරි 15 වනදා මේ කෝටිපති ව්‍යාපාරිකයා ඔහුගේ
කොළඹ කොල්ලුපිටියේ, කර්නල් ටී.ජී. ජයවර්ධන මාවතේ පිහිටි සුපිරි මන්දිරය තුළදී ප්‍රහාරයකට ලක්වී තිබේ.
එවක මාධ්‍ය වාර්තා කළේ, පිහි ඇනුම් සහ වෙඩි වැදී සිදුවූ තුවාල හේතුවෙන් රෝහල්ගත කළ ව්‍යාපාරිකයා ඉන් දින 4 කට පසුව මිය ගිය බවයි.
2006 දී ඔහුගේ පුත්‍රයා ඇමරිකාවේදී මියගොස් තිබුණේ, හදිසි අනතුරකිනි.
බිරිඳ රෝගීවී ඊට පසුව මෙරටදී මියගොස් සිටි අතර ව්‍යාපාරිකයා පසුව තනිව වාසය කර තිබේ.
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු ලුතිනන්වරයෙකු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පසුගිය මැයි මාසයේදී පුවත්පත් වාර්තා කර තිබිණ.
අප ඊයේ ප්‍රදර්ශනය කළ මේ දර්ශනවල ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ කොළඹ පිහිටි සුපිරි නිවාසයි.
මෙම දේපොළවලට අමතරව නිට්ටඹුවේ අක්කර 32 ක පොල්ගහආර ඉඩම ද මේ ව්‍යාපාරිකයාට අයිතිව තිබූ දේපොළකි.
ඔහුගේ ඝාතනයෙන් පසුව කොළඹ පිහිටි සුපිරි නිවාස මේ වනවිට භුක්ති විඳින්නේ ඇන්ඩෲ සමරකෝන් නමැති අයෙකි.
නිට්ටඹුවේ ඉඩමට ආරවුල මතුව ඇත්තේ මේ ඇන්ඩෘ සමරකෝන් සහ කෝටිපති ව්‍යාපාරිකයාගේ සමීපතමයකු මෙන්ම දුරින් ඥාතියෙකු බව කියන ධනසිරි විජේසිංහ නමැත්තා අතරයි.
ධනසිරි විජේසිංහ නමැත්තා පවසන ආකාරයට තෑගි ඔප්පුවකින් ඔවුන්ට මේ ඉඩමේ කොටසක් හිමිවී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇන්ඩෲ සමරකෝන් සිදු කළ ප්‍රකාශය පහතින්...
''මේ කතාව පටන් ගන්නේ මාස 06 කට කලින් , මගේ මාමා වන අශෝක දසනායකේ ගේ ඝාතනයත් සමග. මේ මිනීමැරුම වුනේ ජනවාරි මාසයේ .ඒ සිද්ධීයෙන් පස්සේ මම මගේ මාමාගේ දේපළ බලා ගත්තා.මම මේ දේපල වලට උරුමක්කාරයෙක් විතරක් නෙවෙයි. මම මේවයේ පරිපාලකයා. මේ පුද්ගලයා පෙන්නන්නේ 2008 ඔප්පුවක්.මං ලග තියෙන්නේ 2016 බිම් සවිය හිමිකම් පත්‍රයක්. මේ හරහා මේ ඉඩමට මගේ අයිතිය තහවුරු වෙනවා.ඔහු පෙන්වන 2008 ඔප්පුව තාම අධිකරණයටවත් පෙන්නලා නෑ. ඔවුන් කරලා තියෙන්නේ මේ ඔප්පුව පෙන්නලා , ඔවුන් මේ ඉඩමේ අයිතිකාරයෝ කියලා නීතිමය ක්‍රියාමාර්ග ගත්ත එක. අපි මේ පිළිබදව පොලිසියට පැමිණිලි කලා.පොලිසිය තමයි අපිට කිව්වෙ පුද්ගලිකව ඇවිල්ලා ලියකියවිලි පෙන්නලා අයිතිය තහවුරු කරලා , පැමිණිල්ල ඉදිරිපත් කරන්න කියලා.පොලිසිය අපිට කිව්වා ඔවුන් පළමුව මෝටර් රථයක් යවන්නම් ඉන් පසුව අදාල ස්ථානයට එන්න කියලා. අපි ඒ ස්ථානයට ගියාම අපි කවරදාවත් දැක නැති සිද්ධියක් අපි දැක්කා. ඔහු කියනවා ඔහු තමයි අයිතිකරු කියලා , ඔහු මුරකරුවෙක්.ඔහු මගේ මාමාගේ මුර කරුවා.ඔහු වසර තුනකට කලින් විශ්‍රාම ගියා. අපි පව් කියලා හිතලා ,ඔවුන්ට ඉන්න ඉඩ දුන්නා.ඔවුන්ව අපිට ඒ වස්ථාවේදී පන්නන්න තිබ්බේ.නමුත් අපි නීතිමය පියවර ගත්තා.අපි නෙරපිමේ නඩුවක් ගොණු කලා.අපි ඒක ඔහුට විරුද්ධව ගොනු කළ නඩුවක්. මම ඔවුන්ව එලියට දාන්න ගියේ නෑ. මම අවේ මගේ බංගලාවට ඇතුළු වෙන්න. මගේ බඩු හොරකම් කරලා තියෙනවද කියලා බලන්න මට උවමනා වුනා''
පසුගිය සති අන්තයේ නිට්ටඹුවේ පොලීසියේ නිලධාරීන් සමග ඉඩමට ඇතුළු වූ ඇන්ඩෲ සමරකෝන් නමැත්තා ඇතුළු පිරිසට එහි දැනට රැඳී සිටින ධනසිරි විජේසිංහ නමැත්තාගේ පාර්ශ්වය දැඩි විරෝධය පළ කළේ ය.
එහිදී සිදුවීම පිළිබඳව අදහස් පළ කළ ඇන්ඩෲ සමරකෝන්....
''ගිය පාරත් එහෙම වුණා. අපි ගියාට අපිට ඔවුන්ව එළියට දාන්න උවමනාවක් තිබ්බේ නෑ. එහෙම අපිට මිනිස්සුන්ව එළියට දාන්නත් බෑ. මේක නීතිමය කටයුත්තක්. නඩුව දිනපුවහම ඒ වැඩේ පිස්කල් කරයි .ඔවුන් මේ නඩුව පරදීයි කියල බයවෙලා ඉන්නේ. ඔවුන් මේ හා සම්බන්ධ සියලු නඩු පරදියි කියලා බයවෙලා ඉන්නේ.මෙතන තියෙන්නේ එක නඩුවක් නෙවෙයි.මම කතා කලේ ඊයේ සිද්ධිය ගැන විතරයි. මෙතන තියෙන සැබැ කතාව තමයි ව්‍යාජ ඔප්පු හැදීමේ ජාවාරමක්.මේවට දේශපාලන හස්තයන් බලගතු පුද්ගලයින් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මෙතන පළමුව වෙන්න ඕන දේ තමයි මේ මරණයට සාධාරණය සිදුවෙන්න ඔනෙ.මේ ඝාතනය විමර්ශනය සිදු කරන්නේ පොලිසය සී අයි ඩී එකයි. මෙතන ගැටලුවක් නෑ.මම අවධානය යොමු කරන්නේ මේ ඉඩම් නීති විරෝධිව අත්පත් කර ගැනීම වැළක්වීමටයි. අත්තනගල්ල උසාවියෙන් නියෝගයක් දීලා තියෙනවා මේ පුද්ගලයා මුරකරුවෙක් විතරයි කියලා .ඔහුට මේකට නෛතික හිමිකමක් නෑ කියලා. පලදාව ලබා ගන්න බෑ කියලා. මේ ඕඩර් එක ලැබිච්ච ඉක්මනටම මේ අය කලබල වෙලා.මොකද මොහුට සම්බන්ධ බලගතු තැන් තෙරුම් ගන්නවා මේ පුද්ගලයාට මේ ඉඩමට අයිතියක් නෑ කියලා. ඔවුන් හිර වෙලා ඉන්නේ.ඒක නිසා ඔවුන්ට වෙන කරගන්න දෙයක් නෑ ,ඔවුන් මට ප්‍රහාර එල්ල කරනවා''
ඉඩමේ පදිංචිකරුගේ පුත්‍රයා වන තිලංග බණ්ඩාර විජේසිංහ පළ කළේ මෙවැනි අදහසකි.
''මේ මගේ තාත්තට අයිත ඉඩම. මේ වන විට දැන් ඉඩම් මංකොල්ලයක් වෙනවා. මේ ඉඩම් බලහත් කාරයෙන් අල්ලගන්න පිරිසක් එනවා.එයාගෙ නම ඇන්ඩෲ සමරකෝන් කියලා කෙනෙක්. ඇන්ඩෲ සමරකෝන් කියන කොන අපිට ජීවිත තර්ජනත් කරනවා.එයගේ සෙකියුරිටි ෆර්ම් එකක් මේ වත්තට ඇතුළු කරනවා''
ඉඩමේ පදිංචිව සිටින ධනසිරි විජේසිංහ මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් පහතින්...
''අප කියන්නේ පොලීසියට කොලින් වැඩ කරන්න කියලා.මේ විදිහට ඉඩම් මංකොල්ල කන්න ගියාම අපේ තියෙන ඔප්පු වලට මොකද වෙන්නෙ. මේ ඔප්පු කැලේට යනවා. මෙහෙම හරි තියෙන්නෙ උසාවි නියෝගය උඩ. නඩු කාර උන්නැහේට පිස්සු නෑනේ තහනම් නියෝග දෙන්න අපිට ඔප්පු නැත්තම්.අපි මේ සම්බන්ධයන් ඉහලට දන්වලා තියෙනවා.ඇයි පොලිසිය ඒවා අහන්නේ නැත්තේ.දැන් පොලිසියත් එක්කනේ එන්නේ.මගේ නෝනව තල්ලු කෙරුවා එහෙම කරන්න පුළුවන්ද පොලිසියට''
පොලීසිය සති අන්තයේ සිදුවීම සම්බන්ධයෙන් ධනසිරි හා තිලංග පියපුතු දෙපළ අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
හිමිකරු ඝාතනයට ලක්වූ ඉතා වටිනා දේපොළකට දැන් දෙපාර්ශ්වයක් හිමිකම් කියමින් සිටී.
සියල්ල මැද කෝටිපති ව්‍යාපාරික ක්‍රිෂ්ටෝපර් අසෝක දසනායකගේ ඝාතනය තවමත් අභිරහසකි.
ඒ අභිරහස කුමක්ද?
https://www.facebook.com/NewsfirstSL/videos/284462999447350/