COLOMBO (News 1st) : කොරෝනා හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ට ඊයේ එල්ලවූ කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ශ්ව ගණනාවක් හෙළා දැක තිබේ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මේ කඳුළුගෑස් ප්‍රහාරය එල්ලවී තිබිණ.
ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 700 ට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ පස්වරු 04 ට පමණයි.
මාස 4 කට අධික කාලයක් මව්බිමට පැමිණීමට මොවුන් ඉල්ලීම් කර තිබුණ ද තානාපති කාර්යාලය දිගින් දිගටම පවසා තිබුණේ ඒ සඳහා තීරණයක් ගැනීමට කල් ලබාදෙන ලෙසයි.
විසඳුමක් නොලැබුණු නිසා මේ ශ්‍රමිකයින් ඊයේ ඔවුන් සේවය කළ ස්ථානයේ ප්‍රධානීන් හමුවී තානාපති කාර්යාල නිලධාරීන් මුණ ගැසීමට තීරණයක් ගෙන තිබිණ.
එහෙත් තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම ශ්‍රමිකයින් වෙත දන්වා තිබුණේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් ඔවුන් වෙත පැමිණෙන බවයි.
ඒ අනුව ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් තිදෙනෙකු මේ ශ්‍රමිකයින් හමුවීමට පැමිණ තිබිණ.
රැකියා අහිමි ශ්‍රී ලාංකිකයින්ගේ මේ අදෝනා හමුවේ තානාපති කාර්යාල නිලධාරීයා පවසා තිබුණේ තමන්ට ක්ලාන්ත ගතියක් ඇති වූ බවයි.
තානාපති කාර්යාලයෙන් පැමිණි නිලධාරීන් එසේ පිටව යනවාත් සමග කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වී තිබිණ.
ඉන් 20 දෙනෙකු පමණ ශ්වසන අපහසුතා හේතුවෙන් එවේලේම රෝහල්ගත කිරීමට ද සිදුවූ බව මෙම ශ්‍රමිකයෝ ප්‍රකාශ කළහ.
ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සේවය කළ මේ පිරිසට සිය රැකියා අහිමි වී තිබුණේ ඉකුත් මාර්තු 17 වැනිදායි.
අප්‍රේල් මස 17 වැනිදායින් පසු දිනක ඔවුන්ට මව්බිමට පැමිණීමට දිනයක් ලබාදෙන බව පවසමින් අදාළ කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් මේ පිරිසට දැනුම් දී තිබුණේ රැකියාවෙන් ඉල්ලා අස්වන ලෙසයි.
දිවයිනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් ඊට එකඟවී තිබිණ.
දැන් මේ ශ්‍රී ලාංකිකයින්ට මාස 4 ක සිට කිසිදු වැටුපක් හිමි නොවන අතර දිනකට ලැබෙන්නේ ආහාර වේල් දෙකක් පමණි.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කර තිබිණ.
එහි දැක්වුණේ අදාළ ශ්‍රමිකයින්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් පැය 5කට අධික කාලයක් ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා තබා ගෙන ඇති බවයි.
එහිදී එම කර්මාන්ත ශාලාවේ තත්ත්වය සමනය කිරීම සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් නිදහස් කිරීම සඳහා ජෝර්දාන පොලීසිය කැඳවා ඇතැයි, තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
ඉකුත් 22 වැනිදා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එම කර්මාන්ත ශාලාවේ දීම වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇසුරුම් 375 ක් බෙදා දී ඇති බව ද ඔවුන් පැවසී ය.
ජෝර්දානයේ රැකියා අහිමිවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක පැවසුවේ, රැකියා අහිමි වී මාසය 5ක් ඉක්ම ගොස් ඇති බැවින් අසරණ තත්ත්වය පත්ව සිටින බවයි.
''ඒ ප්‍රකාශය බොරුවක්. මොකද අපිට මස 5 කට පස්සේ සහනාධාර විදිහට හම්බුනේ මෙන්න මේවගේ පොඩි දේවල් විතරයි ඒකත් මාස 5කට පස්සේ. ඒවගේම කිසිම මුදලක් මේවෙනකොට හම්බුනේ නෑ. අපිට හම්බුනේ මේ මාසේ 23 වැනිදා. ඊයේ දිනයේ නෙවෙයි. අපි ඊයේ දිනයේ මෙයාලව ගෙන්නගත්තේ අපිට මේ වෙනකම් හම්බුනේ නැතිඑක වෙනුවෙන් ඔවුන්ගෙන් පිලිතුරක් ලබාගන්න. අපියි ගොඩාක් අසරණ මොකද රැකියා අහිමි වෙලා මාස 5ක්. අතේ සත පහක් වත් නෑ. මාස 5 කට මේ වගේ බඩුවලින් ජිවත් වෙන්න පුලුවන්ද බැරිද කියාල දකින ඕන කෙනෙක්ට පේනවා''
මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජනබලවේගයේ අපේක්ෂක සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ, මෙම පහරදීම ජොර්දාන පොලීසියේ අභිමතයට පමණක් සිදුවූවක් නොවන බවයි.
''මේ මැදපෙරදිග ගිහිල්ලා ඉන්න කාන්තාවෝ අහිංසක කෙල්ලෝ මේ රටට විදේශ විනිමය ගෙන්නේ. අවුරුද්දකට මතක තියාගන්න ඩොලර් බිලියන 7 ක් ලංකාවට ගේනවා. රැකියාව නෑ කන්න නෑ ජිවත් වෙන්න තැනක් නෑ ඉන්න තැනක් නෑ. ජොර්දානේත් ඒ ප්‍රශ්ණේ ආවො. මාස 5 ක් .තිස්සේ ඒ අසරණ කෙල්ලෝ මේ ආනණ්ඩුවලට කිව්වා. අපි ආණ්ඩුවට කිව්වා. අපි විදේශ කටයුතු අමාත්‍යාංශේ ලේකම් හම්බෙලා කිව්වා. නොසලකපු කාන්තාවන්ට අද ජොර්දාන්වල ගහනවා. පහර දෙන්නේ ජොර්දාන් පොලිසියේ අභිමතයට නෙවෙයි. ඔය පහර දෙන්නේ අනිවාර්යයෙන්ම ලංකාවේ රජයෙන් ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන්න ඕන. කදුලු ගෑස් ගහලා ලංකාවේ මොඩල් එකෙන්ම පහර දිලා. ලංකාවේ මහ පාරේ දාගෙන කෙල්ලන්ට ගහන ගැහිල්ලම අද ලංකාවේ ආණ්ඩුව ජොර්දාන් පොලිසිය පාවිච්චි කරලා ගහලා තියෙනවා''
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සංඛ්‍යා ලේඛන අනුව මෙරට විදේශගත ශ්‍රමිකයින් සංඛ්‍යාව මිලියන 1.2 ක් පමණ වේ.
ඉකුත් වසරේ පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට උපයා දුන් ආදායම ඩොලර් බිලියන 7 කි.
විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, කන්දක්කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ සිදුවීමත් සමග ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වීමේ ක්‍රියාවලිය මදකට අත්හිටුවීමට සිදුවූ බවයි.
''පසුගිය දවස්වල ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වීමේ ක්‍රියාවලිය මදකට අපිට අත්හිටවන්න සිද්ධ වුණා. කන්දක්කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවෙච්ච සිද්ධියත් සමග අපි බලාපොරොත්තු වෙනවා තව දින කිහිපයකින් අපිට ඉඩ ලැබෙයි කියලා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නැවත වතාවක් විදේශරටවල සිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට නැවත ගෙන ඒමට අවස්ථාව ලැබෙයි කියල. අපි දැනට සැලසුම් කරලා තියෙන විදිහට 31 වැනිදා සහ 1 වැනිදා ඩුබායි රටේ සිට අපේ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට දැනටමත් සැලසුමක් හදලා තියෙනවා. ඉන්පසුව අපි අධ්‍යන කරගෙන යනවා අපි හැම අංශ වලින්ම තොරතුරු අරගෙන ඉතුරු ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට වේගවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා අපිට යුද හමුදාවෙන් සහ සෞඛ්‍ය අංශවලින් ඒ සම්බන්ද නිර්දෙශයන් ලැබිච්ච වහාම''
https://www.facebook.com/NewsfirstSL/videos/2100446713433524/