ජනපති කොමිසම්වලට අදාළව නීතිමය ගැටලුවක්

ජනපති කොමිසමකින් විමසූ කරුණකට එරෙහිව තවත් කොමිසමකට යා හැකි ද?

by Staff writer 28-07-2020 | 10:03 PM
COLOMBO (News 1st) : ජනාධිපති කොමිෂන් සභාවක මීට පෙර විමර්ශනය කළ කරුණකට එරෙහිව වෙනත් ජනාධිපති කොමිසමක් හමුවට ඉදිරිපත්වන පැමිණිලි විභාග කළ හැකි දැයි අද නීතිමය ගැටලුවක් මතුවිය. මේ ගැටලුව මතුවුණේ, දේශපාලන පළි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත්වූ පැමිණිල්ලක් සම්බන්ධයෙනි. මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය සහ දිනපොත් මුද්‍රණයක් සම්බන්ධයෙන් 2012 වසරේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන පැල්පිට මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ බරපතළ වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ චූදිතයෙකු ලෙස නම්කර තිබිණ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ දේශපාලන පලි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණි පැල්පිට මහතා පැමිණිල්ලක් ගොනුකරමින් කියා සිටියේ බරපතළ වංචා විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහි පැමිණිල්ල දේශපාලන පළිගැනීමක් බවයි. මෙම ගනුදෙනුවලට තම සම්බන්ධයක් නොමැති බවත් කොමිසම හමුවේ බොරු සාක්ෂි ඉදිරිපත්කර තමන් චූදිතයෙකු බවට පත්කළ බවත් චන්දන පැල්පිට මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. ඔහු කියා සිටියේ, ජනාධිපති කොමිසමේ නිර්දේශ මත තමන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවළියක් ද ආරම්භ කළ බවයි. දේශපාලන පළි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත්වූ අවස්ථාවේ කියා සිටියේ කලින් ජනාධිපති කොමිසමක විමර්ශනයවූ කරුණක් නැවත එවැනි කොමිසමක විභාග කිරීමට ඇති හැකියාව පිළිබඳව  කරුණු සොයා බැලිය යුතු බවයි. ඒ අනුව මේ පිළිබඳව නීතිමය තත්ත්වය විමසා වාර්තා කරන ලෙස සභාපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසමට සහය වන අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසූරිය මහතාට දැනුම් දුන්නේ ය. මේ අතර ජනාධිපති කොමිසම හමුවේ විමර්ශනයට ලක්වන සිදුවීම් පිළිබඳව කොමිෂන් ශාලාවෙන් පිටත එය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළදී මාධ්‍යයට අදහස් පළ කිරීම වළක්වන නියෝගයක් ජනාධිපති කොමිසම අද නිකුත් කළේ ය. කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, මැතිවරණ කාල සීමාවක සිදුවන මේ ක්‍රියාව නිසා මැතිවරණ නීති උල්ලංඝනය වන බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාතිවරයාද දැනුම්දී ඇති බවයි. ඒ අනුව කොමිෂන් සභා රැස්වීමේදී ඉදිරිපත්වන කරුණු සම්බන්ධයෙන් ඉන් පිටතදී ඒ පිළිබදව අදහස් දැක්වීමෙන් වළකින ලෙස සභාපතිවරයා අවවාද කළේ ය. මේ අතර රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතාගේ පැමිණිල්ලේ වැඩිදුර විභාගය අගෝස්තු 21 දක්වා කල් ගියේ ය. ඊට අදාළව කොමිසම හමුවේ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සහ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙක් ද පෙනී සිටියේ ය. ඔවුන් කොමිසමෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ලේ පිටපත් අධ්‍යයනය කළ යුතු බැවින් ඡන්දයට පසු දිනයක් ලබාදෙන ලෙසයි.