හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්..

හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්..

by Staff writer 27-07-2020 | 11:02 AM

COLOMBO (News 1st) : දිවයිනේ විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට(28) දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් ත්‍රීකුණාමලය, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.