ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටියක් සුවය ලබයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටියක් සුවය ලබයි

by Staff writer 27-07-2020 | 11:32 AM

COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියේ ය.

මේ වනවිට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හැට හතර ලක්ෂය ඉක්මවා තිබේ. කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව හයලක්ෂ පනස් දෙදහසකට ආසන්නයි. නව ආසාදිතයන් 55,732 ක් වාර්තාවීමත් සමග අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හතලිස් තුන් ලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවන බව සඳහන් ය. ඒ , අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වූ නිව්යෝර්ක් ප්‍රාන්තය ඉක්මවන ආසාදිතයන් සංඛ්‍යාවක් ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ද වාර්තාවීමත් සමග ය. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇත්තේ මෙක්සිකෝවෙන් වන අතර එය 729 ක් ලෙස සටහන් විය. ඉන්දියාවෙන් එම කාලය තුළ නව ආසාදිතයන් 50,525 ක් වාර්තාවීමත් සමග එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දාහතර ලක්ෂ තිස්හය දහස ඉක්මවා ගියේ ය. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් ය. මේ අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ස්පාඤ්ඤය පවසයි. ඒ, එරටින් දෙවන කොරෝනා රැල්ලක් ඇරඹීමේ අවධානම හමුවේ තම රටට පැමිණෙන ස්පාඤ්ඤ සංචාරකයින් නිරෝධායනය විය යුතු බව බ්‍රිතාන්‍යය පැවසීමෙන් පසුව ය. සංචාරකයින් සහ ස්පාඤ්ඤ ජාතිකයින්ට තම රට ආරක්ෂිත ස්ථානයක් බව ද ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය. මීට අමතරව ප්‍රංශය සහ ජර්මනියෙන් ද නව ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.