COLOMBO (News 1st) මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද විෂයභාර අමාත්‍යවරයාට නියෝග කර තිබේ.
ඒ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සංචාරය කරමින් පොදුජන පෙරමුණේ ජනහමුවලට සහභාගි වූ අවස්ථාවේදීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කරුණෑගල දක්වා කොටස තනා නිම කරන්නැයි ජනාධිපතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේ අද මාවතගම මහජන පොළේ පැවති ජන හමුවේදීය.
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමකට අවධානය යොමු කළ ජනාධිපතිවරයා පාසල් වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06 ක සහන කාලයක් ලබා දීමට එකඟතාව පළ කළේය.
නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ යුද හමුදාපතිවරයාටයි.
මාවතගම ජාතික පාසලට ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයක් සහ කහපත්වල ක්ෂේත්‍ර නිලධාරීන්ට “සේවා පියස” ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ද අද තීරණය කෙරිණි.
විදුහල්පතිවරයා හා සිසුන් පිරිසකගේ ඉල්ලීමක් අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කරන බව ජනාධිපතිවරයා පැවසුවේ දොඩංගස්ලන්ද මහජන ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදීය.
එතැන් සිට දොඩංගස්ලන්ද, රිදීගම සතිපොළ භූමියට යන මග දෙපස රැස්ව සිටි ජනතාව සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය.
දොඩංගස්ලන්ද සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවට සහභාගි වීමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළා.
සුළු අපනයන භෝග මිල පහත වැටීම, මත්ද්‍රව්‍ය උවදුර, මාර්ග පද්ධතියේ අඩුපාඩු ඉන් කිහිපයකි.
ජනාධිපතිවරයා පැමිණි මේ ජනහමුවට රැස්ව සිටි පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇමතුවේය.
"පාතාලය ඇත්ත වශයෙන්ම වැඩි වුණේ පසුගිය අවුරුදු පහේ. පාතාලයත් 2015 වෙනකොට ත්‍රස්තවාදය විතරක් නෙවෙයි පාතාලේ කුඩු කාරයෝ ටික රට අතහැරලා යන්න පටන් ගත්තා.අපේ යුගයේදී පහළොවෙන් පස්සේ තමයි ඒ අය ආවේ.සමහර දේශපාලනඥයෝ එයාලගේ මැතිවරණ ව්‍යාපාර වලට එයාලව පාවිච්චි කරන්න පිටරට පැනලා හිටපු උදවිය ගෙන්න ගත්තා. ඒ අවුරුදු පහ තුළ තිබිච්චි තත්ත්වය අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආවට පස්සෙ එතුමාගේ විශේෂ වැඩ පිළිවෙලක් අනුව අද පාතාලය සහ කුඩු මර්දනය කිරීමේ වැඩපිළිවෙළ දියත් කරලා මේ රටේ දරුවන් කුඩු වලින් බේරා ගැනීම කිරිම සඳහා පියවර අරන් තියෙනවා කියලා අපි තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනේ"
අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු ජන හමුවට ජනාධිපතිරයා සහභාගි වුණේ අග්‍රාමාත්‍යවරයාද සමගිනි.
අලව්ව නගරයේ දුම්රිය හරස් මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම ඇතුළු යෝජනා සහිත නගර සංවර්ධන සැලැස්ම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමුවිය.
දඹදෙණිය රෝහලට අයත් ඉඩමේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ රෝහලේ අඩුපාඩු පිළිබඳව ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයා දැනුවත් කළේය.
පොල්ගහවෙල, වීරඹුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.
පසුගිය 03 වැනිදා අනුරාධපුරයෙන් ඇරඹි ජනාධිපතිවරයාගේ ජනහමු මාලාවෙන්, පොළොන්නරුව, පුත්තලම, කොළඹ, මාතලේ, බදුල්ල, මහනුවර, අම්පාර කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, සහ කුරුණැගල දිස්ත්‍රික්ක මේ වන විට ආවරණය වී අවසන්.
එම සෑම ස්ථානයකම ජනතා ගැටළු හදුනාගනිමින් ඒවාට විසඳුම් දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගැනිණි.
එම ස්ථානවලදී ජනතාවගෙන් ජනපතිවරයාට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.