දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්

දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජනපතිගෙන් ජාතික වැඩසටහනක්

by Staff writer 27-07-2020 | 9:52 PM
COLOMBO (News 1st): දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය. ඒ, නාරම්මල පැවැති ජනහමුවකදීය. දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපතිවරයා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එහි දැක්වෙන්නේ, මේ තත්ත්වය කෘෂිකර්මාන්තයට සහ ජනජීවිතයට හානිකර බලපෑමක් එල්ල කර ඇති බවය. ඊට විසඳුම් ලෙස විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් ඇතිව සියලු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. බිංගිරිය, දුම්මලසූරිය, නෙරළුගම ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත විය. මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමාව එහිදී දැනුවත් කළේය. ඔවුන්ට නිදහසේ ජීවනෝපාය කරගෙන යාමට ඉඩ දෙන ලෙස ජනාධිපතිවරයා පොලීසියට නියෝග කළ බව ද එම නිවේදනයේ දැක්වේ. කටුගම්පොළ, පන්නල මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ තවත් ජන හමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි විය. වසර 150ක් පැරණි පන්නල ජාතික පාසලට නව පරිපාලන ගොඩනැගිල්ලක් හා පිහිනුම් තටාකයක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් ක‍ළේය. පිත්තල සහ වෙනත් සාම්ප්‍රදායික කර්මාන්තවල නිරත පිරිස් ණය ඉල්ලුම් කිරීමේ දී මුහුණ දෙන ගැටළු පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි. මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන්නැයි කළ ඉල්ලීමට පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට පැවසුවේ, තම ප්‍රදේශවල ජාවාරම් පිළිබඳ තොරතුරු නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට එවන ලෙසය. මේ ජනහමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.