දේපාළ අවුලක් නිසා උණුසුම් වූ නිට්ටඹුවේ පිරිසක්..

කොළඹ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයෙන් පසු දේපාළ අවුලක් නිසා උණුසුම් වූ නිට්ටඹුවේ පිරිසක්..

by Staff writer 27-07-2020 | 8:20 PM
COLOMBO (News 1st): නිට්ටඹුව ප්‍රදේශයේ, පිහිටි ඉඩමක් අත්පත් කර ගැනීමට පැමිණි බව කියන පිරිසක් සහ ඉඩමේ පදිංචිකරුවන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. අදාල දර්ශනවල දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් ද එම ස්ථානයේ රැඳී සිටියදී, ඉඩම් පදිංචිකරුවන්ට බලපෑම් කරමින් කිසියම් පිරිසක් කටයුතු කරන ආකාරයයි. මෙම ආරවුලට මුල් වී තිබෙන්නේ නිට්ටඹුව, කලල්පිටිය ග්‍රාම සේවා වසමට අයත් පොල්ගහ ගාරවත්ත ප්‍රදේශයේ අක්කර 32ක ඉඩමකි. දැනට ඉඩමේ පදිංචිකරුවන් වන, ධනසිරි විජේසිංහ සහ ඔහුගේ පුත්‍රයා වන තිලංග විජේසිංහ මෙම සිදුවීම සජීවීව සාමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරියේය. එහිදී අදාළ ඉඩමට පොලිස් නිලධාරීන් ද රැඳී සිටියදී පිරිසක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුළුවීමට උත්සාහ ගත් අවස්ථාවේ ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි. ඉඩම් පදිංචිකරුවන් පැවසුවේ අක්කර 32ක මෙම ඉඩම තෑගි ඔප්පුවක් මත තමන් භුක්ති විඳින බව ය. අදාළ ඉඩම තෑගි ඔප්පුවකින් පවරා ඇත්තේ මීට කලකට පෙර ඝාතනයට ලක්වූ අශෝක දසනායක නැමති පුද්ගලයාගේ බිරිඳගේ මව විසින් බව ඔවුන් සඳහන් කරයි. අදාළ කාන්තාවද මේ වන විට ජීවතුන් අතර නොමැත. ඉඩමේ පදිංචිකරුගේ පුත්‍රයා වන තිලංග බණ්ඩාර විජේසිංහ මහතා
"මේ මගේ තාත්තට අයිති ඉඩම.මේ වනවිට දැන් ඉඩම් මංකොල්ලයක් වෙනවා. මේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගන්න පිරිසක් එනවා. එයාගෙ නම ඇන්ඩෲ සමරකෝන් කියලා කෙනෙක්. ඇන්ඩෲ සමරකෝන් කියන කෙනා අපිට ජීවිත තර්ජනත් කරනවා. එයාගේ සෙකියුරිටි ෆර්ම් එකක් මේ වත්තට ඇතුළු කරනවා සෙන්ට්‍රිකෝ කියන ආයතනයක. ඒ සෙකියුරිටි කට්ටිය කියනවා එයාලා චානුක රත්වත්තේගේ කට්ටිය කියලා. අපිව තැති ගන්වනවා. මේ හැම දේටම පොලිසිය උදව් කරනවා. අපි නඩු දාලා තියෙන්නේ අපි තහනම් නියෝග අරන් තියෙන්නෙ. ඒ තියෙද්දී තමයි මේ දෙවල් කරන්නේ. අද බලහත්කාරයෙන් කට්ටිය ඇතුළු කරන්න හැදුවා. ඇන්ඩෲ සමරකෝන් කියන පුද්ගලයා වාහන 3කින් ආවා. ඒත් එක්කම සෙන්ට්‍රිකෝ කියන සෙකියුරිටි ආයතනයේ නිලධාරීන් හිටියා 10 ක් විතර. ඒ අය චානුක රත්වත්තේගේ කියලා කිව්වා. අද වෙනකොට අපේ පවුල්වල සියලු දෙනාගේ ජීවිත අනතුරේ . අද කොළඹ 07 ගෙවල් වල ගහලා තියෙනවා මේ වගේ බෝඩ්, මේකේ ඉඩම් මංකොල්ලයක් වෙන්නේ. අද නිට්ටඹුව පොලිසියත් එක්ක තමයි මේ අය ඇතුල් වෙන්න හැදුවේ . එහෙම ඇතුල් වෙන්න පුළුවන්ද? ,මං ගාව විඩියෝ එකක් තියෙනවා එම් ඕ බ්‍රාන්ච් එකේ සී අයි මහත්තයෙක් සිවිල් ඇවිල්ලා මේ ඉඩමට ඇවිල්ලා කියනවා ,ඔව් මට ලක්ෂ 50 ක් දෙනවා තමයි කියලා"
ඉඩමේ පදිංචිකරු ධනසිරි විජේසිංහ මහතා
"අප කියන්නේ පොලීසියට කෙළින් වැඩකරන්න කියලා. මේ විදිහට ඉඩම් මංකොල්ල කන්න ගියාම අපේ තියෙන ඔප්පුවලට මොකද වෙන්නෙ. මේ ඔප්පු කැලේට යනවා. මෙහෙම හරි තියෙන්නෙ උසාවි නියෝගය උඩ. නඩුකාර උන්නැහේට පිස්සු නෑනේ තහනම් නියෝග දෙන්න අපිට ඔප්පු නැත්තම්. අපි මේ සම්බන්ධයෙන් ඉහළට දන්වලා තියෙනවා. ඇයි පොලීසිය ඒවා අහන්නේ නැත්තේ. දැන් පොලීසියත් එක්කනේ එන්නේ. මගේ නෝනව තල්ලු කෙරුවා එහෙම කරන්න පුළුවන්ද පොලීසියට"
ඉඩමේ පදිංචිකරුගේ බිරිඳ
"පොලීසියෙන් ආවා අපේ ඉඩමට මම කිව්වා අපේ ඉඩම කියලා. ඊට පස්සේ තෝ අහකට පළයන් කියලා මාව තල්ලු කෙරුවා. නිට්ටඹුව පොලීසිය හැම වෙලාවෙම ගන්නෙ ඒ අයගේ පැත්ත. අපිට ළමයි ටිකත් එක්ක සැනසිමේ ඉන්න දෙන්න. අපේ පවුලටම මරණ තර්ජන තියෙනවා. කොයි වෙලාවක හරි ඇවිල්ලා ඇටෑක් කරනවා කියලා කියලා තියෙන්නේ"
ප්‍රශ්න සහගත ඉඩමේ තිබූ මෙම පුවරුව සහ කොළඹ 03, ප්‍රදේශයේ සුවිසල් මන්දිරයක තාප්පයේ තිබෙන පුවරුවක දැකිය හැක්කේ සමානත්වයකි. ප්‍රශ්න සහගත නිට්ටඹුවේ ඉඩමට අතුළු වූ සුඛෝපභෝගි ජීප් රථයේ ලියාපදිංචි ලිපිනය ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සඳහන්ව ඇත්තේ කොළඹ 03 අදාළ සමානත්වයෙන් යුත් පුවරුව දැක්වෙන සුවිසල් මන්දිරයේ ආසන්නයේ ලිපිනයකි. මේ අතර අදාළ ඉඩමට සම්බන්ධ නඩුව අද අත්තනගල්ල අධිකරණය හමුවේ කැඳවා තිබූ අතර මහජන සාමය කඩ කිරීමේ චෝදනා යටතේ අදාළ ඉඩමේ පිදිංචිකාර ධනසිරි විජේසිංහ සහ ඔහුගේ පුත්‍රයා එළැඹෙන 04 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගෙන් අප විමසීමක් කළෙමු. මෙම සිද්ධීය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2741357132854982/