COLOMBO (News 1st) : කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල පමණක් නොව මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් මේ වනවිටත් පවතින්නේ අවදානම් තත්ත්වයකයි.
අක්කර 200 ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතින මැදිරිගිරිය වටදාගෙය භූමිය ඊට කදිම නිදසුනකි.
මෙම පුරාවිද්‍යා භූමියේ ආරක්ෂාව වෙනුවෙන් පුරා විද්‍යා සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 15 ක් යොදවා සිටියත් රක්ෂිතය තුළ වරින් වර කැනීම් සිදුවේ.
මේ මාසය තුළ පමණක් එලෙස හොර රහසේ සිදුව ඇති කැනීම් සංඛයාව 5 කට අධික ය.
ප්‍රදේශවාසියෙක්
"නිධන් හොරු විසින් අද වනවිට මේ ස්ථානය විනාශ කරලා තියනවා. මේ විදියට ගියාම පෞරාණික වස්තුවක් නැති වෙයිද කියලා හැඟීමක් තියනවා ගම්වාසීන් හැටියට. 70 දශකයේ වගේ බොහොම වටිනා නිධන් වස්තු තිබුණ තැනක්. අක්කර 200ක වගේ ප්‍රමාණයකින් අද වෙද්දී අක්කර 10ක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ"
මේ ජනතාව පෙන්වා දෙන පරිදි වටදාගෙය භූමියේ මෙවැනි කටයුතු සිදුවන්නේ අද ඊයෙක සිට නොවේ.
බලධාරීන් දැනුවත් කළත් ක්‍රියාත්මක වීම ප්‍රමාදයි.
මැදිරිගිරිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය මොරගොල්ලාගම සීවලී හිමි
"තව ටික කාලයක් ගියාම පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරලා විනාශ කළා වගේ මැදිරිගිරිය වටදාගේත් ඩෝසර් කරලා විනාශ කරන දිනය වැඩි ඈතක නෙමෙයි. මේ ස්ථානයේ වටිනාම තිබුණේ ගල් කණුවල, පුන්කලස්වල. මේ පුන්කලස් අද නෑ. මැදිරිගිරිය කළගෙඩි පාලමේ තිබුණ පුන්කලසත් චෛත්‍යස්ථානයේ තිබුණ පුන්කලසට සමානයි. වටදාගෙයි තිබුණ පුන්කලස අද නෑ. එක එක තැන්වලට අරන් ගිහින් තියෙන්නේ . චන්ද්‍රකාන්ත පාෂාණවලින් තිබුණ මුරගල කඩාගෙන ගිහිල්ලා හෝටල්වලට ගෙනිච්චා පහුගිය කාලේ. වටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා තිබුණා ඒ බුදු පිළිම අද කෑලි කෑලිවලට අද කඩලා . අත නැති සිරසට හානි වෙච්ච බුද්ධ ප්‍රතිමා තියෙන්නේ"
රටක පෞඩත්වය ලෝකය හමුවට ගෙන යාමට ඇති සාධක අතර ප්‍රමුඛතම සාධකය පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයි.
එහෙත් එවැනි ස්ථාන දිනෙන් දින මෙලෙස විනාශයට පත්වීම කාගේ වරදක්ද?
බලධාරීන් තවදුරටත් ක්‍රියාත්මක නොවී සිටීම සාධාරණද?