පුත්තලම ඉඩම් කොමිසමේ ඉඩමක් පෞද්ගලික ආයතනයක දීලා?

පුත්තලම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩමේ භුක්තිය පෞද්ගලික ආයතනයකට ලබාදීම නිසා ගැටලු සහගත තත්ත්වයක්

by Staff writer 26-07-2020 | 10:33 PM

COLOMBO (News 1st) : පුත්තලම, තොඩුවාව ප්‍රදේශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩමක භුක්තිය පෞද්ගලික ආයතනයකට ලබාදීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබේ.

අක්කර 68ක් වන මෙම ඉඩම ජල ජීවී වගා සඳහා නිර්දේශ කර ඇති එකක් බව අප වාර්තාකරු සඳහන් කළේ ය. එම කටයුතු සඳහා ප්‍රදේශවාසීන් මේ ඉඩම ලබා ගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පුත්තලම කාර්යාලයෙන් ඉල්ලා ඇතත් ඊට ඉඩ ලැබී නොමැත. එහෙත් මේ මස 03 වැනිදා කොමිසමේ පුත්තලම කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ රසිකා ප්‍රියංගනී මහත්මියගේ අත්සනින් යුත් එම ලිපියේ දැක්වෙන්නේ වසරක් සඳහා අදාළ ඉඩම කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් වෙත ලබා දුන් බවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා ඇයට එවූ ලිපියක් අනුව එම පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ ජනතාව එම තීරණයට දැඩි අප්‍රසාදය පළ කළේ ය. මේ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස්
"පිටින් ආපු අය මේ අපේ සම්පත් විනාස කරලා තියෙනවා. ගමේ අයට දුන්නා නම් ඒ අය ආරක්ෂා කරනවා මොකද ගමේ දේවල් මේක" "මේ තමයි තෝඩුවාව එරියා එක ගමේ තියෙන සශ්‍රීකම ප්‍රදේශය. බාහිරින් ආපු පිරිසකට මේ ඉඩම දෙන්න රජයේ මැතිවරණය ගැසට් කරලා තියෙන වෙලාවක ඉක්මණට දේශපාලන හේතු උඩ නීති විරෝධිව දෙන්න තීරණය කරලා තියෙනවා මේ ගමේ සම්පත් ගමේ අයට මුලිකත්වය දෙන්න කියලා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා"
මේ සම්බන්ධයෙන් ගම්වැසියෙක් මැතිවරණ කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා එම කොමිසමේ පුත්තලම කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ රසිකා ප්‍රියංගනී මහත්මිය වෙත යවා ඇති ලිපියක දැක්වෙන්නේ කොමිසම සතු අදාළ ඉඩම මැතිවරණ කොමිසම නිකුත් කර ඇති විධිවිධාන උල්ලංඝණය කරමින් පූර්ණ අවසරයකින් තොරව පෞද්ගලික සමාගමකට පවරාදීම අත්හිටුවන ලෙසයි. මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයෙන් අප විමසීමක් කළේ ය. නිලධාරිනියක්
"අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව සභාපතිතුමා භුක්තිය භාර දීලා තියෙන්නේ කියලා ඒ සම්බන්ධව කතා කරගන්න ප්‍රධාන කාර්යාලයට එන්න කිව්වා"
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ රසිකා ප්‍රියංගනී
"සභාපතිතුමා කිසිම විස්තරයක් දෙන්න එපා කිව්වා"
https://www.facebook.com/NewsfirstSL/videos/660265938171665/