තව ත් සුරාබදු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

පුත්තලමේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තව ත් සුරාබදු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

by Staff writer 25-07-2020 | 12:33 PM

COLOMBO (News 1st) - පුත්තලමේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තව ත් සුරාබදු පරීක්ෂකවරයෙක් පුත්තලමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලීසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව කළ මෙහෙයුමකිනි. සැකකරු පසුගිය දා අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාට අයිස් මත්ද්‍රව්‍ය ලබාදී පළාගිය බවට සැකකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ය. සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ඔහුගේ සේවය ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බවයි. සැකකාර සුරාබදු පරීක්ෂකවරයා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි. මේ අතර පුත්තලම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පසුගිය දා අත්අඩංගුවට පත් වූ සුරාබදු නියාමකවරයා සේවයෙන් ඉවත් කර තිබේ. ඒ, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මතයි. සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් එහිදී පොලිස් භාරයට ගැණුනි. ඔහු පසුගිය වසරේ කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානයට අනුයුක්තව රාජකාරි කර වැඩ තහනමකට ලක්ව පසුව වව්නියාව සුරාබදු ස්ථානයට අනියුක්තව නැවත සේවයෙහි පිහිටුවන ලද නිලධාරියෙකි. සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ද ඇතිව පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීම පිණිස අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකුගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සහකාර සුරාබදු කොමසාරිස්වරුන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් යුක්ත වූ විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායම් දෙකක් පත්කර ඇති බවයි. එම පරීක්ෂණ වාර්තා සතියක් තුළ කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බවට දන්වා ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.