ETI තැන්පත්කරුවන්ට හෙට සිට වන්දි...

ETI තැන්පත්කරුවන්ට හෙට සිට වන්දි...

by Staff writer 24-07-2020 | 1:38 PM
COLOMBO (News 1st) : ETI සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ආයතනවල තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම හෙට සහ අනිද්දා සිදුකරන බව මහජන බැංකුව පවසයි. සමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ETI සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ශාඛා පැවති ප්‍රදේශවල ආසන්නතම මහජන බැංකු ශාඛා 45 ක් මගින් රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරෙන බවයි. ඒ අයෙකුට රුපියල් ලක්ෂ 6 ක උපරිමයකට යටත්ව, වන්දි ගෙවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරෙන බව ද මහ බැංකුව සඳහන් කළේ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු පසුගිය 13 දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කළේ ය. මෙම වන්දි මුදල් සඳහා අයදුම් කිරීමේ දී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස අදාළ ආයතන දෙකෙහි තැන්පතුකරුවන්ගෙන් හා තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ගෙන් මහ බැංකුව ඉල්ලීමක් කරයි.