විනාශ කළ කුරුණෑගල පුරාවස්තු යළි සකසන්න ජනතාවගේම මුදල් යොදවයි ද?

by Staff writer 24-07-2020 | 8:19 PM

COLOMBO (News 1st) - විනාශ කළ කුරුණෑගල පුරාවස්තු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද කිරීමට බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, ඊයේ ලබා දුන් අධිකරණ නියෝගයත් සමග පවතින නීතිමය තත්ත්වය සැළකිල්ලට ගනිමිනි. කඩා දමන ලද පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළ යළි ප්‍රතිසංස්කරණ කිරීම අද සිට ආරම්භ කරන්නැයි, අමාත්‍යාංශය මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දී තිබුණි. නමුත් එම ස්ථානයට ඇතුළුවීම වළක්වමින් අධිකරණය ඊයේ කළ නියෝගය සැළකිල්ලටගෙන අධිකරණ කටයුතු අවසන් වූ වහාම ප්‍රතිසංස්කරණ ආරම්භ කරන බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ ය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදාව ද සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවයි. ප්‍රතිසංස්කරණ වියදම් දැන් දරන්නේ කවු ද? මේ පිළිබඳ අප බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු පැවසූවේ, කුරුණෑගල නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, වයඹ පළාත් සභාව,බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනවලින් ඒ සඳහා දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මේ විනාශය ගැන අගමැතිවරයාට කරුණු වාර්තා කළ කමිටුවේ නිර්දේශය වූයේ, වගකිව යුත්තන්ගෙන් මේ සඳහා යන වියදම අයකරගත යුතු බවයි. එහෙත් දැන් මේ කියන අකාරයට වියදම ආයතන ලෙස දැරීමට සිදුවන බවක් පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ විනාශ කළ පුරාවස්තු සංරක්ෂණයට යළි යෙදවිය යුත්තේ ජනතාවගේ බදු මුදල් ද? වියදම අයකරගන්නැයි කමිටුව පැහැදිලිව නිර්දේශ කර තිබියදීත් එසේ කරනවා වෙනුවට ජනතාවගේ මුදලින් මේ ස්ථානය යළි සංරක්ෂණය කිරීම සාධාරණ ද?