EPF අරමුදල ගැන අලුත්ම අනාවරණය...

වසරේ මුල් මාස තුනේ සේවක අර්ථසාධක අරමුදලට මිලියන 39,000 ක පාඩුවක්

by Staff writer 24-07-2020 | 9:26 PM

COLOMBO (News 1st) - සේවක අර්ථසාධක අරමුදල කියන්නේ පුද්ගලික අංශයේ රැකියාව කරන අයට විශ්‍රාම දිවිය පහසුවෙන් ගතකරන්න ඉතිරි කරන මුදල්වලින් හදපු අරමුදලකි.

මේ අරමුදල තියෙන්නේ වැඩ කරන ජනතාවගේ සුබ සාධනයටයි. සේවක අර්ථ සාධක අරමුදලේ තියෙන වැඩ කරන ජනතාවගේ සල්ලි විවිධ පුද්ගලයින්ට ලාභ ලැබෙන ආකාරයට ආයෝජනය කරලා විනාශ කරපු ආකාරය පසුගිය කාලයේ අපි දිගින් දිගටම අනාවරණය කළෙමු. මේ අරමුදල පිළිබඳව අලුත්ම අනාවරණය.... මේ අවුරුද්දේ මුල් මාස 3 අවසන් වනවිට සේවක අර්ථසාධක අරමුදල රුපියල් මිලියන 39,000 ක් පාඩු ලබා ඇතැයි මහ බැංකුවේ දත්තවලින් හෙළිව තිබේ. අරමුදල මෙලෙස පාඩු ලබා ඇත්තේ, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හා කොටස් වෙළෙඳපොළේ නැති සමාගම්වල ආයෝජනය කිරීම නිසාය. මේ පාඩුව නිසා අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජන 3% කින් අඩුකිරීමටත් පියවර ගෙන තිබේ. කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 83 ක සේවක අර්ථ සාධක අරමුදල රුපියල් මිලියන 84,000 ක් ආයෝජනය කර ඇති අතර මේ වසරේ පළමු කාර්තුව අවසන් වනවිට එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 45,000 ක් දක්වා අඩු වී තිබේ. ලැයිස්තුගත නොකළ ආයතන අටක සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජනය රුපියලි මිලියන 9600 කි. එම වටිනාකම රුපියල් මිලියන 9100 දක්වා අඩුවී තිබේ. ද ෆිනෑන්ස් සමාගමේ ව්‍යාපාරික බලපත්‍ර අවලංගු කිරීමෙන් පමණක් සේවක අර්ථ සාධක අරමුදලට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 205 කි. 2019 වසර අවසන් වනවිට සේවක අර්ථ සාධක අරමුදලේ මුළු වටිනාකම රුපියල් මිලියන 254,000 ඉක්මවා තිබුණි. මතකද? පුද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ දහඩිය මහන්සියෙන් උපයන මුදල්වලින් සමන්විත සේවක අර්ථ සාධක අරමුදල හොරාකෑම පටන්ගත්තේ අද ඊයේ නොවෙයි. 1958 දී අරමුදල ආරම්භ කළ දින සිට එය රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කළ අතර 1998 සිට කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජනය කිරීම ආරම්භ කළේ ය. අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයාගේ කාලයේදී එනම් 2010 වසරේ සිට අරමුදලෙන් 5% කට වැඩි ප්‍රමාණයක් කොටස්වල ආයෝජනය කිරීමට තීරණය කෙරුණි. කොටස් වෙළෙඳපොළ තුළ කෘත්‍රිමට මිල ගණන් ඉහළ පහළ යවමින් කිහිපදෙනෙකු ලාභ ලැබූ කුප්‍රකට පම්පින් ඇන්ඩ් ඩම්පින් ක්‍රියාත්මකවූයේ මේ කාලසීමාව තුළයි. එහිදී සිදුකෙරුණේ, සමාගම් කිහිපයක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඒවායේ කොටස් මිල ගණන් කෘත්‍රිම අයුරින් ඉහළ දැමීමට විවිධ උපක්‍රම හරහා පියවර ගැනුණි. ඇතැම් අවස්ථාවල රටේ ප්‍රකට දේශපාලඥයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද යොදාගෙන දැවැන්ත ව්‍යාපාර ලෙස හුවා දක්වන උත්සව පවා සංවිධානය කෙරුණි. අනතුරුව හිතමිතුරන් කිහිපදෙනෙකු එක්ව ක්ෂණිකව කොටස් මිලදී ගෙන කෘත්‍රිම මිල ඉහළ යාමක් නිර්මාණය කෙරේ. එය හොඳ ආයෝජනයක් බව වෙළෙඳපොළ හරහා සන්නිවේදනය කර අනතුරුව ආකර්ෂණය වන ආයෝජකයින්ට මිතුරන්ගේ කොටස් වැඩි මිලට විකුණා ලාභ ලැබීම මේ කූට ව්‍යාපාරයේදී සිදු කළේ ය. එහිදී බොහෝ අවස්ථාවල බිල්ලට දුන්නේ සේවක අර්ථ සාධක අරමුදලයි. කුකුළන් නැති කුකුල් ගොවිපල, ගොඩනැගිල්ලක්වත් නැති හෝටල් සමාගම්, ඉඩමක්වත් නැති දේපොල වෙළඳ සමාගම් එහිදී බිහිවිය. ලාභ ඉපයීම කෙසේවෙතත් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වූ මේ සමාගම්වල ආයෝජනය කිරීම නිසා සේවක අර්ථ සාධක අරමුදල් කිහිපදෙනෙකුගේ සාක්කුවලට ගිය අතර කුඩා ආයෝජකයින් සියදිවි හානිකරගන්න තත්ත්වයට පත් විය. මේ අයථා ගනුදෙනුවල තරම කියා පාන්නේ කෙටි කාලයක් තුළ කොටස් වෙළෙඳපොළ නියාමක ආයතනය වන විනිමය සුරැකුම්පත් කොමිසමට සභාපතිවරුන් කිහිපදෙනෙකුම පත්කිරීමට සිදුවීමෙනි. එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය, තිලක් කරුණාරත්න මහතා ඊට කදිම උදාහරණයි. 2010 සහ 2015 කබ්රාල් මහතාගේ කාලසීමාවේ කොටස් වෙළෙඳපොළ දූෂිත ගනුදෙනු ගැන යහපාලන ආණ්ඩුව විමර්ශන ආරම්භ කළත් ඒවාට සිදු වූ දෙයක් දකින්නට නොමැත. ඒ වෙනුවට සිදු වූයේ කුමක් ද? කොටස් වෙළෙඳපොළ හරහා කොල්ල කෑ සේවක අර්ථ සාධක අරමුදල් එතැන් සිට රජයේ සුරැකුම්පත්වල ආයෝජන හරහාත් කොල්ල කන්නටය පටන් ගත්තේ ය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ වහාම මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර තමන් අතට ගෙන හිතමිතුරු අර්ජුන මහේන්ද්‍රන් එහි මුල්පුටුවට පත් කළේ ය. එසේ පත්කර සති කිහිපයකින් මහ බැංකුවේ අධිපතිගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගමට වාසිදායක අයුරින් බැඳුම්කර ගනුදෙනුවක් සිදු කළේ ය. මහ බැංකුවෙන් කෙලින්ම බැඳුම්කර මිලදීගත හැකිව තිබියදී සේවක අර්ථ සාධක අරමුදල ද්විතියික වෙළෙදපොළෙන් වැඩි මිලට එහිදී බැඳුම්කර මිලදී ගත්තේ ය. මෙය වරක් දෙවරක් නොව අවස්ථා ගණනාවකදීම සිදු වූ අතර දැනට හෙළිවී ඇති කරුණු අනුව මේ වංචාවෙන් අරමුදලට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 8500 කට අධිකයි. කටුනායකදී රොෂේන් චානකලා ජීවිත පරදුවට තබා සටන් කළේ, සිය විශ්‍රාම අරමුදල් හොරාකන්නට දැරූ උත්සාහය වැළැක්වීම සඳහාය. ඒත් කාටත් හොර රහසේ දැන් පෞද්ගලික සේවකයාගේ විශ්‍රාම අරමුදලක් වන සේවක අර්ථ සාධක අරමුදලින් මේ අවුරුද්දේ මුල් මාස තුන අවසන් වනවිට රුපියල් මිලියන 39000 ක් විනාශ කර අවසන්. අප හෙළි කළේ අවස්ථා කිහිපයක් පමණයි. කොටස් වෙළෙඳපොළේ කලක් කූට ගනුදෙනු කළ පාර්ශව දැන් යළි ත් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් සිටින බවක් දක්නට ලැබේ. මේවා ගැන වැඩකරන ජනාතාව අවධියෙන් සිටීම වැදගත් නොවේ ද? https://www.facebook.com/NewsfirstSL/videos/984565955305437/