අනුරාධපුර-වව්නියාව දුම්රිය මාර්ගය සංවර්ධනයට පියවර

ලබන වසරේදී අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනයට පියවර - මහින්ද අමරවීර

by Staff writer 24-07-2020 | 4:14 PM

COLOMBO (News 1st) - ලබන වසරේදී අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනයට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළ බවයි. අනුරාධපුරයේ සිට යාපනය දක්වා දුම්රිය වේගවත්ව ධාවනය කිරීමට හැකියාව පවති. අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට අනුරාධපුර සිට වව්නියාව මාර්ගය නවීකරණය නොකිරීම හේතුවෙන් එම කොටස ඉතා අබලන් තත්ත්වයක පවතින බවයි. ඒ හේතුවෙන් අනුරාධපුර - වව්නියාව දුම්රිය මාර්ගය මාස කිහිපයක් වසා දැමීමට සිදුවනු ඇතැයි එම ව්‍යාපෘතිය භාර නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මාර්ගය සංවර්ධනයට අවශ්‍ය රේල් පීලි මේ වන විටත් ආනයනය කර තිබේ. හම්බන්තොට සිට කතරගම දක්වා වූ දුම්රිය මාර්ගයේ කොටස ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.