අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනී

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනී

by Staff writer 24-07-2020 | 12:41 PM
COLOMBO (News 1st) : අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා තිබේ. ඒ එරටින් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 67 189 දෙනෙකු වාර්තාවීමත් සමඟයි අමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 147, 281 ක් ලෙස සටහන් වේ. මේ හමුවේ ෆ්ලොරීඩාහි පැවැත්වීමට නියමිතව තිබූ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය අවලංගු කිරීමට ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේ ය. අමෙරිකාවෙන් මේ වනවිට පැයකට කොරෝනා ආසාදිතයන් 2600 ක් පමණ වාර්තාවන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි. මෙතෙක් අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයවී පැවති නිව්යෝර්ක් නුවර අභිබවමින් කැලිෆෝනියාවෙන් මේ වනවිට එරට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ. අමෙරිකාවේ ඇලබාමා , ටෙක්සාස් , මිසොරි , උතුරු ඩකෝටා , බටහිර වර්ජිනියා යන ප්‍රදේශවලින් ගතවූ පැය 24 තුල වාර්තා වු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි පනස්හය ලක්ෂය ඉක්මවා ඇති අතර ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 635 , 581 ලෙසයි . ලොව කොරෝනා ආසාදනයෙන් සුවය ලැබුවන් සංඛ්‍යාව ද 95 ලක්ෂය ඉක්මවා තිබේ. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ බ්‍රසීලයෙන් වාර්තා විය.