අප්‍රේල් 21 ප්‍රහාරය:නම් ලැයිස්තුවක් ගැන අනාවරණයක්

අප්‍රේල් 21 ප්‍රහාරය: අන්තවාදයට සම්බන්ධ 94 කගේ නම් පොලිස්පතිට දුන් බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙකු හෙළි කරයි

by Staff writer 24-07-2020 | 10:47 PM

COLOMBO (News 1st) - ජාතික තවුහිද් ජමාත් සංවිධානය ප්‍රමුඛ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 94 දෙනෙකුගේ නම් ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා විසින් එවක පොලිස්පති‍වරයාට යොමු කළ බව රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ ප්‍රකාශ කර තිබේ.

ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. රාජ්‍ය බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත්තේ, 2017 ඔක්තෝබර් 31 වැනි දා අදාළ වාර්තාව පොලිස්පතිවරයාට යොමු කළ බවයි. එම වාර්තාවේ සඳහන් වූ පුද්ගලයින් අතර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් වූ නව්ෆර් මවුලවි, සහරාන් හසීම් සහ ඔහුගේ සමීපතමයින් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් වූ බව එම නිලධාරියා කියා සිටියේ ය. ඔහු සඳහන් කළේ, වාර්තාවේ නම් සඳහන් 94 න් 80% කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. සහරාන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් සහ එල්ලවිය හැකි ප්‍රහාරයක් පිළිබඳව 2017 වසරේ එවක පොලිස්පතිවරයාට, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට, ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම නීතිය හා සාමය පිළිබඳව අමාත්‍යවරුන් වූ සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන දෙදෙනාට ද වාර්තා මගින් දන්වා සිටි බව රාජ්‍ය බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ය. මේ අතර අද කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතායි. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු සියලු දෙනා සතියට වරක් රැස් වූ ආරක්ෂක මණ්ඩලය මාසයකට වරක් රැස්වීමට තීරණය කර තිබූ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියේ ය. හිටපු ලේකම්වරයා පැවසූවේ, ඔවුන් එසේ තීරණය කළත් ඉදිරි රැස්වීමක් පැවැත්වෙන නිශ්චිත දිනය දැනුම්දීමක් නොකරන බවයි. ජනාධිපතිවරයා දින නියම කළත් ඒ දිනයට රැස්වීම නොතිබූ අවස්ථා ද පැවති බව ඔහු කියා සිටියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/294144371827280/