නාම යෝජනා මණ්ඩලේ බූරුවෙක් හිටියා ද? 

පොහොට්ටු අපේක්ෂිකාවගේ 'බූරු' කතාවට බැසිල්ගෙන් සැර උත්තරයක්

by Staff writer 23-07-2020 | 6:16 PM
COLOMBO (News 1st) :

''අපේ අපේක්ෂිකාවක් මට එවනවා එයා දාලා කෑල්ලක් මේකේ ඉන්නේ ඔක්කොම බුරුවොයි, අශ්වයොයි කියලා. කියලා මගෙන් අහනවා හොඳ ද සර් කියලා. එයාගේ කමෙන්ට් එක. මම ලියලා ඇරියා අපේක්ෂකයෝ අතර අශ්වයොයි බුරුවොයි නැති වුණාට නාමයෝජනා මණ්ඩලේ බුරුවෙක් ඉදලා තමයි ඔයාට දෙන්න ඇත්තේ කියලා. නැත්තම් ඔය වගේ එක්කෙනෙක්ට දෙනව ද කියලා''

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊයේ ගාල්ලේදී පැවති උත්සවයකදී සිය පක්ෂයේ මැතිවරණ අපේක්ෂිකාවක සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි. බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසුවේ, අදාළ  අපේක්ෂිකාවක පසුගිය දා කළ එම ප්‍රකාශයේ ගුණදොස් විමසා සිටි අවස්ථාවේ තමන් එලෙස ඇයට පිළිතුරු ලබා දුන් බවයි. අපේකෂකයින් අතර බූරුවන් නොසිටිය ද ඇය වැනි අපේක්ෂිකාවට නාම යෝජනා දී ඇත්තේ, නාම යෝජනා මණ්ඩලයේ සිටි බූරුවෙකු විසින් බවත්  එහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය. එමෙන් ම පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයින් අනවශ්‍ය ප්‍රකාශ සිදු නොකර සිටින්නේ නම්, එය පක්ෂය වෙනුවෙන් කරන ලොකුම සේවය බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.
'

'මොකද මේ දවස්වල අපට උත්තර දෙන්න වෙලා තියෙන්නේ එක එක්කෙනා කරන ප්‍රකාශවලටයි හදන ඒවට වැඩිය කඩන ඒවටයි තමයි උත්තර දෙන්න වෙලා තියෙන්නේ. වැඩිය ප්‍රකාශ එක එකඒවා කියන්නේ නැතුව ඉන්නවනම් අපේ පක්ෂයට කරන ලොකුම සේවය කියලා කියන්න පුළුවන්''

රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා මෙවර මැතිවරණයේදී බහුතරය නොව 2/3ක බහුතර බලයක් අවශ්‍ය බව අවධාරණය කළ රාජපක්ෂ මහතා  2/3ක ලැබුණත් නොලැබුණත්  ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය කුඩු සහ පාතාලයට තිත තබනු ඇති බවට ඔහු සහතික විය.
'

'ගාල්ලෙන් ටික දෙනෙක් එවලා බෑ. වැඩිපුර එවන්න ඕන. හැබැයි එවනකොට පරිස්සම් වෙලා එවන්න ඒකත් කියන්න ඕන. ගිනිපෙලෙල්ලෙන් බැට කාපු එක්කෙනා කණාමැදිරියටත් බයයිනේ. ඉතිං මමත් හරි බයයි. මේ ජනාධිපතිතුමා යටතේ අනිවාර්යයෙන්ම එතුමාට තුනෙන් දෙක බලයක් නැතිවුනත් මේ දිපු බලයෙන් මේ රටේ මත්ද්‍රව්‍ය කුඩු සහ පාතාලය නම් ඉවරකරනවායි කියන එක මට සහතිකයක් දෙන්න පුළුවන්''

ප්‍රකාශ සිදු කිරීමට අවසර නැති පක්ෂයේ ප්‍රකාශක සම්බන්ධයෙන් ද රාජපක්ෂ මහතා පළ කළේ, මෙවැනි අදහසකි.

''පක්ෂයේ ප්‍රකාශක විදියට විතරයි එයත් එතුමා වගේම ප්‍රකාශක වුණාට ප්‍රකාශ කරනවා ඇහිලා නෑහැනේ ඔයාලට කවදාවක්වත්. එයාට ඒක දුන්නේ ඒක ගන්නකෙටම කිව්වා ඔයාට කරන එකම ඉල්ලිම මෙච්චරයි ඔයා පක්ෂයේ ප්‍රකාශක වෙන්න.. හැබැයි ප්‍රකාශ කරන්න බෑ. මොකද ප්‍රකාශ කරොත් හම්බෝ අප්පේ කරොත් ඉවරයි මොකක්හරි ලෙඩක්''

පළාත් පලාන නියෝජිතයින් වැඩ කළ යුතු බව සිහිපත් කළ රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර සිටියේ, මහින්ද රාජපක්ෂ මර්වින් සිල්වාට දුන් ආකාරයේ සමාවන් යළි හිමි නොවන බවයි.

''අපේ සභාපතිවරුත් නගරාධිපතිවරුත් වැඩකරන්න. අර මහින්ද මහත්තයා වගේ මර්වින් සිල්වාට දුන්න සමාව දෙන්නේ නෑ ඒක හන්දා ඔබතුමාලත් හොදට වැඩකරන්න. මොකද අපිට ලොකු වගකීමක් බාරදිලා තියෙනවා ආයෙත් මාසයක් අත්හදා බලන්න බෑ. ආයෙත් පාරක් අපට පැරදෙන්න බෑ. පැරදිලා හිරගෙවල් උසාවි ගානේ යන්න බෑ. මේ මැතිවරණය කාලේ කිසිම කෙනෙක් වෙනුවෙන් ගිහිල්ලා නැහැ''

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සම්බන්ධයෙන් රචිත කෘතියක් එළි දැක්වීම වෙනුවෙන් පැවති උත්සවයකදී ය. බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පහතින්...  https://www.facebook.com/NewsfirstSL/videos/3346988471986039/