නාකොටික් ජාවාරමට STF සම්බන්ධ නැතැයි තොරතුරු

නාකොටික් නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට STF සම්බන්ධ බවට තොරතුරු නැහැ - පොලීසිය

by Staff writer 23-07-2020 | 8:45 AM

COLOMBO ( News 1st ) : මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදු කළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ වූ බවට මෙතෙක් කළ විමර්ශනවලින් හෙළිව නොමැති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතනයක කිසියම් හෝ සම්බන්ධයක් ඇති බවට චෝදනා එල්ල වන්නේ නම් ඊට අවශ්‍ය විමර්ශන ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා උපදෙස් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ආරක්ෂාව දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්නැයි විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පසුගියදා නියෝග කළේ ය.