කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ක ජල කප්පාදුවක්

කොළඹ 05, 07, 08 ඇතුළුව ප්‍රදේශ කිහිපයකට පැය 14 ක ජල කප්පාදුවක්

by Staff writer 23-07-2020 | 12:28 PM

COLOMBO ( News 1st ) : කොළඹ 05 , 07 හා 08 ප්‍රදේශ සහ ඇතුල්කෝට්ටේ, නුගේගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10.00 සිට හෙට දහවල් 12.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවසයි.

ඒ අනුව පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල, මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල හා මොරගස්මුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව කොළඹ 04 සහ 06 ප්‍රදේශවලට මෙන්ම මහරගම , බොරලැස්ගමුව යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි. අඹතලේ සිට කෝට්ටේ ජුබිලි ජල තටාකය වෙත ජලය සැපයෙන නල මාර්ගයේ හදිසි ජල කාන්දුවක් පිළිසකර කිරීම සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය. මේ අතර හෙට පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා වාදුද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද ,නාගොඩ,පයාගල,පිලිමිනාවත්ත යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව බෝම්ඹුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශවලටද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය දැනුම් දෙයි. කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජල සැපසුම සීමා කෙරෙනු ඇති.