නගරාධිපති ඇතුළු පිරිසට පරිශ්‍රයට ඇතුළුවීම තහනම්

කුරුණෑගල පුරාවස්තු විනාශය ගැන තනි පුද්ගලයෙකුට තවම චෝදනා නෑ - පොලීසිය

by Staff writer 23-07-2020 | 8:25 PM
COLOMBO (News 1st) : නීතිපතිවරයා අද අධිකරණයෙන් කළ ඉල්ලීමකින් පසුව කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට ඇතුළු වීම වළක්වමින් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ, බුවනක හෝටලය ලෙස පවත්වාගෙන ගිය, කුරුණෑගල රජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට සිදුවූ අලාභහානිය පිළිබඳ ඉල්ලීම් කිහිපයක් සිදුකිරීම සඳහා නීතිපතිතුමාගේ උපදෙස් පිරිදී ජ්‍යේෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙකු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමක් සිටි බවයි. ඒ අනුව කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් ඒ ඩී සී එස් හේවාවසම් මහතා විසින් නගරාධිපති මහනගර සභාව කුරුණෑගල වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ නියේගයට අනුව පොලීසිය සිදුකරන විමර්ශන අවසන් වන තෙක්, කුරුණෑගල නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති , නාගරික සභිකයින්, නාගරික කොමසාරිස් , නාගරික ඉන්ජිනේරු හෝ කාර්යමණ්ඩලයේ නියෝජිතයින් හෝ අනුනියෝජිතයින් මෙම බුවනක හෝටල් පරිශ්‍රයට ඇතුළු වීම තහනම් වනු ඇති. මෙම තහනම් නියෝගය සම්බන්ධයෙන් නගරාධිපතිට ලිඛිත දැනුම්දීමක් සිදු කර ඇති බව ද ඇය පැවසුවා ය. මේ අතර සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද අවධාරණය කළේ, මේ සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බවයි.
''යම්කිසි අයෙක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් එය දේශපාලන පක්ෂ හා බල බේදයකින් තොරව එය කිරීම සඳහා ආදාල නීති අංශවලට නිදහස තිබෙනවා. වැරැද්දක් වෙලා තියෙනවා නම් එය නැවැරදි කිරීම සඳහා ඒ වැරැද්ද කළ අයට එරෙහිව දඩුවම් පැමිණවීම සඳහාත් අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්න ස්වාදීනව ඉඩ ප්‍රස්තා ලබාදීම තමයි රජයේ ප්‍රතිපත්තිය වෙන්නේ''
කෙසේවෙතත් පොලිසිය පවසන්නේ මෙතෙක් කළ විමර්ශන අනුව තනි පුද්ගලයෙකුට චෝදනා එල්ලවී නොමැති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ, . ඒ සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යන බවත් එළැඹෙන සාක්ෂි අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ය.
''දැනට අනාවරණය වෙලා තිබෙන විමර්ශන අනුව එහෙම එක පුද්ගලයෙකුට චෝදනා එල්ල වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යනවා. එළඹෙන සාක්ෂි අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ පිළිබඳව ගරු නිතිපතිතුමා විමර්ශන නිලධාරීන් කැඳවලා විමර්ශන ගොනු පරීක්ෂා කරලා ඉදිරි විමර්ශන සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදී තිබෙනවා. ගරු නිතිපතිතුමාගේ උපදෙසුත් අනුව මේ විමර්ශන කටයුතු සිදුකෙරනවා'' https://www.facebook.com/NewsfirstSL/videos/1518635364963703/