COLOMBO (News 1st) : පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කා නමැත්තා ඉන්දියාවේදී මියගිය බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, එම වාර්තා තහවුරු කළ හැකි සාක්ෂි මෙතෙක් ලැබී නොමැති බවයි.
ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ඉන්දියාවේදී වස දී මරාදමා ඇතැයි අද පුවත්පත් බොහොමයක් වාර්තා කර තිබිණ.
එම පුවත්පත් වාර්තාවල සඳහන් වූයේ, විෂ ශරීර ගතවීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයෙන් බැංගලෝර්හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අංගොඩ ලොක්කා පසුගිය 3 වනදා මියගොස් ඇති බවයි.
මෙරටින් ගිය කාන්තාවක් මොහුට විෂ ශරීරගතකර ඇති බවත් අවසන් කටයුතු තමිල්නාඩුවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී සිදුකර ඇති බවත් පුවත්පත්වල සඳහන් ය.
පුවත්පත් වාර්තාකර තිබුණේ, එම වාර්තාවල දැක්වුණේ එම දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් ද අංගොඩ ලොක්කා නමැත්තාගේ සහෝදරියට එවා ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පළ වන ප්‍රචාර සම්බන්ධයෙන් පළ කළ අදහස්...
''දැනට ඔහු මිය ගිය බවට ප්‍රචාරක් පළ වනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව තහවුරු කළ තොරතුරු මේ වනතෙක් පොලීසියට වාර්තා වී නැහැ. ඔහු මියගිය බවට ස්ථීර වශයෙන්ම අපිට තහවුරු කර ගැනීමට විද්‍යාත්මකව සහ අනෙකුත් තාක්ෂණිකව තහවුරු කිරීමට අපිට අවස්ථාව ලැබුණොත් අපි ඔහු පිළිබඳව විමර්ශනයක් කෙරෙමින් පවතින දැනට අධිකරණයට වාර්තා කර තිබෙන නඩු සම්බන්ධයෙන් අපි අධිකරණයට වාර්තා කරලා ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනවා.නිල තහවුරු කළ තොරතුරු ලැබෙන තෙක් අපි අඛන්ඩව විමර්ශන කරගෙන යනවා.දැනට අපිට ඒ පිළිබදව තොරතුරු අනාවරණය කරන්න බැහැ. නමුත් අපි ඒ පිළිබඳව අනොන්‍ය සහයෝගීතා යටතේ අවශ්‍ය කටයුතු කර තිබෙනවා.''
මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන්දීය රජයෙන් නිලවශයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.
කළුතර බන්ධනාගාරයේ රැඳවියන් ප්‍රවාහනය කළ බස් රථ 2 කට වෙඩි තබා සමයං ඇතුළු රැඳවියන් සිව්දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන්නේ අංගොඩ ලොක්කා නමැත්තැයි.
මීට අමතරව සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/905650776589762/