පුංචි නිලමේගේ ආධාරකරුවෙකුට ප්‍රහාරයක්

පුංචි නිලමේගේ ආධාරකරුවෙකුට ත්‍රිකුණාමලයේදී ප්‍රහාරයක්

by Staff writer 22-07-2020 | 10:03 PM
COLOMBO (News 1st) : පිට පළාත්වලින් ගෙන්වූ මැර කණ්ඩායම් යොදා එකම පක්ෂයයේ ක්‍රියාකාරීන්ට පහරදෙමින් සිටින බවට පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂක සුසන්ත පුංචිනිලමේ මහතා අද අනාවරණය කළේ ය. ඔහු මේ අනාවරණය සිදු කළේ, සිය අධාරකරුවෙකුට ඊයේ රාත්‍රියේ කළ පහරදීමක් පිළිබඳව කරුණු පැහැදිලි කරමිනි. ත්‍රිකුණාමල නගරයේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයකට ඊයේ රාත්‍රී කඩා වැදුන පිරිසක් මෙම පහරදීම සිදුකර තිබේ. පහරදීමට ලක්වූ පාර්ශ්වය චෝදනා කරන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවකගේ අධාරකරුවන් පිරිසක් මේ පහරදීම සිදුකළ බවයි. පහර දීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වනවිට රෝහල්ගතකර සිටිති. පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සුසන්ත පුංචිනිලමේ මෙලෙස අදහස් පළ කළේ ය.
''පොදුජන පෙරමුණේම අපේ තරුණ කණ්ඩායමකට පොදුජන පෙරමුණෙම තරඟ කරන එක්තරා අපෙක්ෂිකාවකගේ ඥාතීන් ඒ වගේම අනුගාමීක උදවිය මාතර ගන්දර ප්‍රදේශයෙන් මැරයෝ ගෙනැල්ලා ඊයේ රාත්‍රී ඔහුගේ කාර්යවර්ධන මධ්‍යස්ථානයටත් ඒහි වැඩ කරපු දරුවන්ටත් පහරදීලා තියෙනවා මේක බොහොම නින්දිත ක්‍රියාවක්.මම මේ පිළිබඳව ජනාධිපතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන් ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කරනවා සර්ව සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදීව අපේ දිස්ත්‍රික්කයේ මේ මැතිවරණ කටයුතු කරන්න ඉඩ ප්‍රස්තාව ලබාදෙන්න''
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පොදුජන පෙරමුණේ අපේක්ෂිකා ආරියවතී ගලප්පත්ති මහත්මියගෙන් අප වීමසීමක් කළේ ය. ඇය ප්‍රකාශ කළේ, මෙය පෞද්ගලික කාරනාවක් මත දෙපිරිසක් අතර සිදුව ඇති ගැටුමක් බවයි. ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඇය පැවසුවා ය.