''මට හිතුණොත් මං මේකෙ වහලෙ කඩාගෙන යනවා''

පාතාල නායකයින් සිර ගේ සිට නිලධාරීන්ට මරණ තර්ජන කළ හැටි

by Staff writer 22-07-2020 | 8:10 PM
COLOMBO (News 1st) : බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයින් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ට කළ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය දින කිහිපයේ පුවත් පත් වාර්තා කළේ, කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩි ලැසී සහ පිටිගල කැවුමා නමින් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් මේ තර්ජනය කර ඇති බවයි. අප මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමර්ශනය කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම, මිනී මැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි නායකයින් හා සාමාජිකයින් 30 කට ආසන්න පිරිසක් මේ වනවිට ගාල්ල , බූස්ස බන්ධනාගාරයේ විශේෂයෙන් සකස්කල ඒකකයක රඳවා සිටිති. මෙම ඒකකය මීට මාස 6 කට පෙර සකස්කර ඇති අතර එහි රඳවා සිටින වැඩි දෙනා වැලිකඩ සිට මාරු යැවූ සංවිධානාත්මක අපරාධකරුවන් ය. වෙලේ සුදා, කොස්ගොඩ තාරක, බ්ලූමැන්ඩල් සංඛ, කංජිපානි ඉම්රාන්, ගනේමුල්ල සංජීව, ආමි සම්පත් , දෙමටගොඩ චමින්ද , පොඩි ලැසී සහ පිටිගල කැවුමා යන අන්වර්ථ නාමවලින් හඳුන්වන කුපක්‍රට සංවිධානාත්මක අපරාධකරුවන් ද ඊට ඇතුළත් ය. බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දිගින් දිගටම නිලධාරීන්ට එල්ලවන තර්ජන සොයා බැලීම සඳහා පසුගිය ජුනි 26 වැනිදා සවස 4 ට පමණ විශේෂ කණ්ඩායමක් බූස්ස බන්ධනාගාරයට පැමිණ තිබිණ. එම කණ්ඩායමට ඇතුළත්ව තිබුණේ, බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, බුද්ධි අංශ කොමසාරිස් තුසිත උඩුවර , බුද්ධි අංශ සහකාර කොමසාරිස් ප්‍රසාද් ප්‍රේමතිලක සහ බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික යන මහත්වරුන් සමග, විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සහ බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසකි. අදාළ නිලධාරීන් කණ්ඩායම එහි යනවිටත් කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩි ලැසී සහ පිටිගල කැවුමා තර්ඡනාත්මක ස්වරයෙන් සිර කුටිවලට වී කෑ ගසමින් සිට තිබේ. නිලධාරීන් එහිදී පළමුවෙන් යොමුව තිබුණේ 3 වැනි මැදිරියේ සිටි හික්කඩුවේ පොඩි ලැසී වෙතයි. මේ විදියට රඳවා ඉන්න බැහැ. අපහසුයි. මේකේ මාව හිරකරලා තිබ්බාට මගේ ජාලය ක්‍රියාත්මකයි. මම මෙහේ හිටියට මට ඕන දෙයක් කරන්න පුළුවන් යනුවෙන් පොඩි ලැසී එහිදී නිලධාරීන්ට තර්ඡනය කර තිබිණ. පසුව නිලධාරී කණ්ඩායම කොස්ගොඩ තාරක රඳවා සිටි සිරකුටියට ගිය අවස්ථාවේ ඔහු ද නිලධාරීන්ට තර්ජනය කර තිබිණ. විමර්ශන නිලධාරීන් වාර්තා කර ඇති අන්දමට ඔහුගේ තර්ජනය මේ.
''අපි ළඟ ඕනෑ තරම් ආයුධ තියෙනවා. යකඩ තියෙනවා. අපිට ඔය මහත්වරු ඉන්න තැන හොයා ගන්න එක සිම්පල්. බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා දක්වා අපි මරනවා. ආරක්ෂක ලේකම්ට කියන්න. එයා මෙතෙන්ට ආවත් කියන්න තියෙන්නේ ඒක තමයි. ජනාධිපති ඉන්නේ අවුරුදු 5 යි. මට ජනාධිපති වුණත් ප්‍රශ්නයක් නැහැ. පොලිසිය වුණත් ඉන්නේ මට පල්ලැහින්. එක ගමක අවුරුදු 10 කට මෙහා ළමයිනුයි කාන්තාවොයි විතරයි ඉතුරුවෙලා ඉන්නේ. ගමකටම මං ඒ විදියට ගැහුවා. පොලිසියේ අයවත් මං ඒ විදියට මරලා තියෙනවා. මට හිතුණොත් මං මේකේ වහලේ කඩාගෙන යනවා. ආරක්ෂක ලේකම්ට එන්ඩ කියන්ඩ කථා කරන්න''
පසුව කැවුමා නමින් හඳුන්වන පුද්ගලයා ද නිලධාරී කණ්ඩායමට තර්ජනය කර තිබිණ.
''2012 වැලිකඩ කැරැල්ලේදි එස් ටී එෆ් එක දාලා මාව මරන්න හැදුවා. දැන් මේකේ හිරකරලා මාව මරන්න හදනවා.එස් ටී එෆ් එකට විරුද්ධව මං නඩු දාලාත් තියෙනවා''
බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රමුඛ කණ්ඩායම පැය 3 කට ආසන්න කාලයක් සිරකරුවන්ගේ මෙම චෝදනා විමසා කොළඹට පැමිණ ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා , රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු පාර්ශ්ව දැනුවත් කර තිබිණ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද වාර්තාවක් ඉදිරිපත් කළ බවයි. මෙම සිද්ධියත් සමග බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, බුද්ධි අංශ කොමසාරිස් තුසිත උඩුවර , බුද්ධි අංශ සහකාර කොමසාරිස් ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරුන්ගේ ආරක්ෂාව ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ. බූස්ස බන්ධනාගාරය ආශ්‍රිතව මේ වනවිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර පොලිස් නිලධාරීන් යොදවමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/750023665813057/