යෝෂිතගේ නඩුවට පැමිණිලි පාර්ශ්වය නැහැ

නඩුව ඉවත දමන්නැයි, යෝෂිතගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලති

by Staff writer 22-07-2020 | 7:39 PM
COLOMBO (News 1st) : ගල්කිස්ස මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට නොගෙන ඉවත දමන්නැයි, ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද අධිකරණයෙන් ඉල්ලීමක් කළහ. ඊට හේතුව පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ පෙනී නොසිටීමයි. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති මෙම නඩුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවී ය. විත්ති පාර්ශ්වය වෙනුවෙන් යොෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියත් නඩුව පවරා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස පාර්ශ්වය අධිකරණයේ පෙනී නොසිටියේ ය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නොවැම්බර් මස 20 වැනිදා අධිකරණයේ පෙනි සිටින්නැයි, ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මෙහිදී නියෝග කළා ය. අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ යෝෂිත රාජපක්ෂ මහතා මෙලස අදහස් පළ කළේ ය.
''ඇත්තටම මට උවමනාව තියෙන්නේ මම නිර්දොෂියි කියලා ඔප්පු කරන්න එක නිසා මගේ නිවැරදිතාව ඔප්පු කරන්න ඕනෑ වෙලාවක එන්න සුදානම් අධිකරණය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් සලකලා උසාවියට කැඳවු සැම අවස්ථාවකම අපි පැමිණෙන්නේ, කුමන ආණ්ඩුවක් පැවතුනත් අපි නීතියට ගරු කරන්න ඕනේ. උසාවියෙන් එන්න කිව්වට පස්සේ අපි නියමිත පරිදි උසාවියට ඇවිල්ලා ඒ ගෞරවය කරලා තියෙනවා ''