21 ප්‍රහාරය: රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගැනීම කල් දමන්න

21 ප්‍රහාරය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගැනීම අගෝස්තු 10 දක්වා කල් දමන්නැයි දැනුම් දීමක්

by Staff writer 20-07-2020 | 10:29 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 වැනි දා ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අගොස්තු 10 වැනි දා දක්වා කල් දමන්නැයි මැතිවරණ කොමිසම පොලීසියට දැනුම් දී තිබේ.

මෙම තීරණ ගෙන තිබෙන්නේ, රිෂාඩ් බද්යුදීන් මහතා මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමක් සලකා බලමිනි. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බද්යුදීන් මහතා මැතිරවරණ කොමිසමට කළ පැමිණිල්ලකින් දන්වා ඇත්තේ 2019 අප්‍රේල් 21 වැනි දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා නිරන්තරෙයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව කැඳවන බවයි. මින් පෙර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු කමිටුවක් මගින් කළ පරීක්ෂණයකින් තමා අදාළ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කර ඇති බව ද බද්යුදීන් මහතා පැවසීය. අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ මෙවර මැතිවරණයට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අපේක්ෂකයින් 30 කට ආසන්න සංඛ්‍යාවක් තරග කරන පක්ෂයක නායකයකු ලෙස ආදාළ පරීක්ෂණයට පැමිණීම මැතිවරණ කටයුතුවලට බාධාවක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට බාධාවක් බවයි. ඔහු වැඩි දුරටත් දක්වා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට එක්වරක් පැමිණිය හොත් තම මැතිවරණ කටයුතු සඳහා ඇති දින තුනක් අහිමි වන බවය. අදාළ කරුණු පිළිබඳව සලකා බැලු මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ, බද්යුදීන් මහතා සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ අගෝස්තු 10වැනි දා දක්වා කල් දමන ලෙස වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත දැනුම් දීමටය. ජනාධිපතිතුමාට හා නීතිපතිතුමාට ද ඒ පිළිබඳව දැන්වීමටත් කොමිසම තීරණය කර තිබේ. මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ මින් පෙරද මැතිවරණ කොමිසම කළ මෙවැනි ඉල්ලීම්වලට පොලීසිය ගරු කළ බවයි.