උපාධිධාරී පත්වීම් ඡන්දෙන් පසු..

උපාධිධාරීන්ට පත්වීම් ඡන්දේ ඉවර වෙලා පහුවෙනිදම අපි දෙනවා - ජනපති

by Staff writer 19-07-2020 | 8:05 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජන හමුවලට එක් විය.

ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවට විශාල පිරිසක් එක් වූ අතර එහිදි ජනාධිපතිතුමා රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ ය.
"උපාධිධාරීන්ට පත්වීම් අපි ඡන්දේ ඉවර වෙනදාට පහුවෙනිදාම දෙනවා"
මේ අතර ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඇසුරුම් කළ ගම්මිරිස් ආශ්‍රිත නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයා ගත හැකි බවයි. මේ අතර සබරගමුව සමන් දේවාලය ආශ්‍රිත නින්දගම් සහ පාරම්පරික ඉඩම් පිළිබඳ ගැටලුව සහ ප්‍රදේශයට අඩුවක්ව පවතින ආදාහනාගාරයක් ඉදිකර දෙන ලෙස ජනතාව කළ ඉල්ලීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවේදී උපාධිධාරීන් පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දැක්වූවේ ය.
"උපාධිධාරීන් කියන්නේ ක්‍රීම් එකනේ නේද? මොන අංශයක වුණත් රටක ඉන්න හොඳම කොටස. ඒ ගොල්ලෝ රටේ ආර්ථිකයේ හොඳම තැන කරන්න යන්නේ නැත්නම් වැඩක් නෑ නේද? තරුණයෝ හැටියට අලුත් උපාධිධාරීන් ඒක තමයි කරන්න ඕනේ"
මේ අතර ඇඹිලිපිටිය ළමා උද්‍යානය අසළ පැවැති ජන හමුවේදී ප්‍රදේශයේ පැතිර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ මහවැලි ඉඩම් ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.