COLOMBO (News 1st) : ඉපැරණි වංශ කතාවල සඳහන් සේරුවිල කෙලවර පිහිටි ''සෝම නුවර'' නම් ස්ථානයේදී බුදු රජාණන් වහන්සේගේ දකුණු දළඳා වහන්සේ නිධන් කර ඉදිකළ ස්ථූපය, වර්තමානයේ සේරුවිල විල්ගම්වෙහෙර නමින් හඳුන්වන ඓතිහාසික ස්ථූපය විය හැකි බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හෙළිදරව්ව කෙරුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධාන්තවයෙන් පැවැති මාධ්‍ය හමුවකදීයි.
කන්තලේ සේරුවිල මංගල මහා විහාරයට කිලෝ මීටර 2ක් දුරින් පිහිටි විල්ගම් වෙහෙර මහ සෑ මළුවේ සිදු කළ පුරා විද්‍යා කැණීම්වලින් ශ්‍රී ලංකාවේ පැරණිම ඇත් පවුරක්, ඉපැරණි ශෛලමය ඡත්‍ර 4ක් ඇතුළු නටඹුන් රැසක් සොයාගෙන තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමලය පුරා විද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා කළ පැහැදිලි කිරීම පහතින්...
''අපේ වංශකතාවක් වන ධාතු වංශයේ සඳහන් වෙනවා සේරුවිල කෙලවර පැරණි සෝම නුවර ''ගිරි අබා'' රජතුමා විසින් බුදු රජානන් වහන්සේගේ දකුණු දළඳාව නිධන් කරලා ස්ථුපයක කෙරෙව්වා කියලා. සේරුවිල කෙලවර සෝම නුවර පිහිටනවා කියලා තමයි ඒකේ කියන්නේ. සේරු විල කෙලවර කියන වචනේ තේරුමක් තියෙනවා. සේරුවිලේ වතුර ඇතුළු වෙන්නේ දකුණු දිශාවෙන්. වතුර පිට වෙන්නේ උතුරු දිශාවෙන්. එතකොට සේරුවිල කෙලවර කියන එකේ අර්ථයක් එන්න නම් උතුරු කෙළවර වෙන්න ඕනේ. සේරුවිල උතුරු පැත්තේ තියෙන එකම ස්ථූපය තමයි මේ අපි කැණීම් කරන මේ ස්ථූපය. ධාතු වංශයේ තව සඳහනක් තියෙනවා කාවන්තිස්ස රජතුමා අපේ සේරුවිල මංගල මහා සෑය ඉදි කරලා ඒකේ ධාතු තැම්පත් කරලා, ස්ථූපය නිම කරලා සඟ සතු කර පූජා කරන්න මේ සෝම නුවර ඉඳලා තමයි පෙරහරකින් තමයි ගිහිල්ලා තියෙන්නේ සේරුවිල ස්ථූපය දක්වා. එතුමා සන්ධ්‍යා භාගයේ ඇතුන් පිරිවරාගෙන සෝම නුවරින් පිටත් වෙලා සේරුවිල ස්ථූපයට කරුවල වැටෙන්න කලින් ගියයි කියලා. ඒ කියන්නේ සෝම නුවර කියන ස්ථානය පිහිටන්න ඕනේ සේරුවිල ස්ථූපයට බොහොම කිට්ටුව. ධාතු වංශයේ සඳහන් භූමි දර්ශනය අනුව ප්‍රධාන අවස්තා දෙකක් මේ ස්ථූපයට ගැලපෙනවා. එකක් තමයි සේරුවිල කෙලවර ගිරි අබා රජතුමා සහ සෝමාවතී බිසව විසින් දකුණු දළඳාව නිධන් කරපු ස්ථූපයක් වීම සහ සෝම නුවර ඉදලා කාවන්තිස්ස රජතුමා පෙරහරකින් පැය කීපයක් ඇතුලත අපි කිව්වොත් ඒ කියන්නේ සන්ධ්‍යා භාගයේ ඉදලා කරුවල වැටෙන්න කලින් කියන්නේ පැය එක හමාරක් දෙකක් වගේ වෙන්නෙ පුළුවන්. ඒ ඇතුලත සේරුවිල ස්ථූපයට ගියයි කියන එක. මේ අපේ වංශකතාවල එන මේ තොරතුරු අනුව අපිට අනුමාන කරන්න පුළුවන් මේ ස්ථානය පැරණි සෝම නුවර විදිහට. එහෙනම් මේ පැරණි සෝම නුවර ඉදිකරපු දකුනු දළඳා වහන්සේ නිධන් කරපු ස්ථූපය බොහෝ විට මේ අපි කැණීම් කරන මේ ස්ථානය වෙන්න පුළුවන්. අපේ වංශකතා සාධක අනුව පැහැදිලිවම කියන්න පුළුවන් මේ ස්ථූපය පිහිටලා තියෙන්නේ පැරණි සෝම නුවර කියලයි.''
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ, ගවේෂණයක් සිදු කර එම ස්ථානයේ දාගැබ් වහන්සේ සම්බන්ධයෙන් මුලින්ම ඉටු කළ යුතු කැණීම් කාර්යයන් සිදු කළ බවයි.
මෙය ඉතාම වැදගත් දාගැබක් බවට පැහැදිලිව පෙනෙන බවත් අවධි තුනකදි මේ ස්ථානය විකාශනය වූවා යැයි, පුරා විද්‍යානුකූලව හෙළි වී ඇති බවත් ය.