Covid19 රාජකාරි වලින් මහජන සෞඛ්‍යපරීක්ෂකවරුන් ඉවතට

Covid-19 රාජකාරි වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වෙයි

by Staff writer 17-07-2020 | 12:12 PM

COLOMBO (News 1st) - සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද දහවල් සිට කොරෝනා ආශ්‍රිත රාජකාරිවලින් ඉවත් විය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ,  කැබිනට් අමාත්‍ය ධූරයක් දරන වගකිව යුතු අමාත්‍යවරියක් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව මවිතයට පත් වූ බවයි.
''ඊයේ දින හවස්භාගය වන විට එතුමිය ප්‍රකාශ කළ කාරණයක් අද දින පෙරවරුවේ මුද්‍රිත සහ අනෙකුත් ජනමාධ්‍යවල ප්‍රකාශ වුණා, කෝවිඩ් 19 පාලනයට අදාළව, මැතිවරණ මාර්ගෝපදේශ අද දිනයේ හෝ හෙට ගැසට් කරන බවටත්. මේ ගැසට් එකේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් සඳහා කිසිසේත් ලබා දීමට කටයුතු නොකරන බවටත්. ඊට හේතුව වශයෙන් ජනමාධ්‍ය පෙන්නලා තිබුනේ මහජනතාව අපහසුතාවට පත් වීම වැලැක්වී සඳහා තමයි මේ බලය ලබා දුන්නේ නැත්තේ කියලා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මේ කරන ලදැයි ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වෙච්ච ප්‍රකාශය අපි ඇත්තටම ඉතාමත් මවිතයට පත් වුණා මේ රටේ පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යධූරයක් දරන වගකිව යුතු අමාත්‍යවරියක් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව. අපි පසුගිය කාලය පුරාවටම කරන ලද රාජකාරි යම් යම් නීතිමය ආවරණ නොමැතිව තමයි අපි ඉටු කරමින් ආවේ ඒ වගේම ඒ කරපු සේවාව ඇගයීම වෙනුවට එතුමිය මේ සේවාව නිසා මහජනතාවට පීඩාවට ලක් වුණාය කියන එක තමයි නොකියා මේ ප්‍රකාශය හරහා කරලා තියෙන්නේ. ඒ නිසා අපි එතුමිය විසින් කියූ පරිදිම තව දුරටත් මහජනතාව අපහසුතාවයට පත් නොකර, ඒ වගේම නීතිමය ආවරණයක් නොමැතිව මේ කටයුතු කරන්න ගිහිල්ලා යම් යම් අවදානමට ලක් නොවී අද දින මධ්‍යන 12.30 ඉදලා අපි සම්පූර්ණයෙන් කොවිඩ් 19ට අදාළ සියලුම රාජකාරිවලින් ඉවත් වෙන්න කටයුතු කෙරුවා.''
පවතින තත්ත්වය තුළ කොරෝනා රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් හඳුනාගැනීම, ප්‍රථිකාර හා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු වුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යටතේයි. එමෙන්ම නිරෝධායනය කළ යුතු පුද්ගලයින් ඒ සඳහා යොමු කිරීම, ස්වයං නිරෝධායන කටයුතු අධීක්ෂණය සහ නිරෝධායනයෙන් නිදහස් කිරීම ආදී රාජකාරි සඳහා ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සක්‍රියව දායක විය. මේ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සමන් රත්නප්‍රිය මහතා පැවුසවේ, පවතින තත්ත්තවය තුළ කෝවිඩ් දෙවනි රැල්ල පාලනය කළ හැකි ද යන ප්‍රශ්නය පැන නගින බවයි.
''හරි පැහැදිලිවම කියනව නම් ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙනවා මේ මැතිවරණය මොන ක්‍රමයකට හරි තියලා දේශපාලනිකව ස්ථාවර වෙන්න. ඒ අදහස ක්‍රියාත්මක කරගන්න ජන ජීවිත බිල්ලට තියන්න ආණ්ඩුව කිසිම විචිකිච්චාවක් නැතුව කටයුතු කරමින් ඉන්නවා. එක පැත්තකින් ලෙඩ්ඩු වසන් කරනවා. අවශ්‍ය ප්‍රමානයට පරීක්ෂන කරන්නේ නෑ. ඊ ළඟට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපදින්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පිළිපදින්නේ නෑ. දේශපාලඥයින් තමන්ට ඕන ඕන විදිහට ක්‍රියාකරමින් ඉන්නවා. ඉතින් මේ තත්ත්වය ඇතුලේ අනිවාර්යෙන් කෝවිඩ් දෙවනි රැල්ල පාලනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපි තුළ පැන නගිනවා''
https://www.facebook.com/NewsfirstSL/videos/1642956762529783/