අභියාචනාධිකරණයෙන් වැඩබලන පොලිස්පතිට නියෝගයක්

බලපත්‍ර නැතිව වැලි, පස් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

by Staff writer 17-07-2020 | 3:03 PM
COLOMBO (News 1st) : බලපත්‍රයක් නොමැතිව වැලි හා පස් ප්‍රවාහනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය අද වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ ය. 1992 අංක 33 දරණ පරිසර පනත ප්‍රකාරව පස් හා වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බවත්, කැබිනට් පත්‍රිකාවක් මගින් එම බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇති බවට මතයක් ගොඩනැගී ඇත්තේ කරුණු වරදවා වටහා ගැනීමකින් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ ය. එය සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල වැඩබලන පොලිස්පතිවරයට එම නියෝගය කළේ ය. පෙර පැවති ආකාරයෙන්ම වැලි හා පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන බවත්, එය අවලංගු කිරීමක් නීත්‍යනුකූලව සිදුකර නොමැති බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. පස් හා වැලි ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මගින් අහෝසි කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණ. එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා, පතල් හා භූ විද්‍යා කැනීම් කාර්යාංශය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ. නඩුව යළි ඔක්තෝබර් මස 10 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.