by Staff writer 17-07-2020 | 7:42 PM
COLOMBO (News1st) : කොළඹ වරායේ නැගෙනහිර පර්යනත්තය පිළිබඳව මතුවූ ගැටලුව තාවකාලිකව යටපත්වී තිබේ.
නමුත් සිදුවන්නට යන්නේ කුමක් ද?
අපි මේ ගැන කථා කරන්නේ ජාත්‍යන්තර නෞකා ගමනා ගමනය සැලකීමේදී උපාය මාර්ගිකව අතිශය වැදගත්කමක් ඇති ස්ථානයක් නිසයි.
මේ නැගෙනහිර පර්යන්තයට කුමක් සිදුවෙයි ද?
කොළඹ වරාය දකුණ සංවර්ධන ව්‍යාපෘතියට අදාලව නැගෙනහිර පර්යන්තය ඉදිකර මෙහෙයුම් ආරම්භ කිරීම සැලසුම් කර තිබේ.
ඉතා ගැඹුරු වරායක් සහිත මෙම කොටසට ලොව විශාලතම නෞකා පවා ඉතා පහසුවෙන් ඇතුළු කළ හැකියි.
දැනට වරාය අධිකාරිය අපේ රටේ බැංකුවලින් ණයට ගත් මුදල් යොදා එහි මූලික ඉදිකිරීම් අවසන් කර තිබේ.
චීනයෙන් ගෙන්වූ ගැන්ට්‍රි දොඹකර තුනත් වෘත්තීය සමිති බල කිරීමට දැන් ගොඩබා අවසන් ය.
ඒත් මෙහෙයුම් ආරම්භකරන්න තියෙන බාධාව කුමක් ද?
පසුගිය ආණ්ඩුවේ සාගල රත්නායක ඇමතිවරයා ශ්‍රී ලංකාවේ ඉන්දීය හා ජපාන තානාපතිවරු සමග අත්සන් කළ සහයෝගිතා ගිවිසුමක් තිබේ.
ගිවිසුමෙන් පැවසෙන්නේ, ජපානයෙන් වරාය අධිකාරිය ලබා ගන්නා සහන ණය මුදලකින් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කළ යුතු බවයි.
එලෙස සංවර්ධනය කරන පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඉන්දු, ජපාන හා ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමට සහයෝගිතා ගිවිසුමෙන් එකඟතාව පළ කර තිබේ.
සහයෝගීතා ගිවිසුමට අනුව එම සමාගමේ 51% ක කොටස් වරාය අධිකාරියට නැතිනම්, ශ්‍රී ලංකාවට හිමිවිය යුතුයි.
නමුත් වත්මන් ආණ්ඩුවේ වරාය විෂය භාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය ජුනි 9 වෙනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් මේ එකඟතාව ක්‍රියාත්මක කළ නොහැකි බව පෙන්වා දී තිබේ.
කැබිනට් පත්‍රිකාවෙන් කියැවෙන්නේ, ජපානයෙන් ණයක් අරගෙන නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම රටට වාසිදායක නොවන බවයි.
රට බරපතළ ණය අර්බුදයකට පත්ව තිබිවදී ණය ගෙවන්න ලෝකෙන් සහන කාලයක් ඉල්ලද්දි තවත් ණය ගන්න බැරි බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.
ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කරන්නේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට විදේශීය සෘජු ආයෝජනයක් අවශ්‍ය බවයි.
ඒ සඳහා දේශීය සමාගමක මැදිහත්වීමෙන් ඉන්දියාවේ අදානි පෝර්ට් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමි සෝන් නමැති සමාගම ඉදිරිපත්ව සිටින බව කැබිනට් පත්‍රිකාවෙන් දැනුම්දී තිබේ.
කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කරන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස අවුරුදු 35 ක් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යා යුතු බවයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ඒකේ වාසිය ද පැහැදිලි කර තිබේ.
ඔහු කියන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර පළමු වසර අවසානයේ ලැබෙන ලාභාංශයෙන් නැගෙනහිර පර්යනත්තයට ලබාගෙන ඇති ණය පියවා දැමිය හැකි බවයි.
අවුරුදු 35 ක කාලයට අදාළව ලැබිය යුතු බදු කුලිය එකවර ලබාගෙන වරාය අධිකාරිය ලබාගෙන ඇති සියලු ණය පියවා දැමීමට ක්‍රියා කළ හැකි බව ඇමතිවරයා සඳහන් කරයි.
මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරන්න නිලධාරීන් 5 දෙනෙකු පත්කිරීමට ද කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වනවිට මෙම යෝජනාව තාවකාලිකව යටපත්වී තිබේ.
කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන ආකාරයට ජපාන හා ඉන්දීය බහලුම් ප්‍රතිනැව්ගත කිරීම ඇතුළු මෙහෙයුම් පවත්වාගෙන යාම නැගෙනහිර පර්යන්තය මේ අයුරින් දියුණු කිරීමේ අරමුණයි.
දැන් අනාවරණය වන ආකාරයට ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතියට සම්බන්ධ වීඹට සූදානම් වේ.
අදානි ව්‍යාපාර සමූහය අයිති ගෞතම් අදානි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකි.
ඉන්දීය කොංග්‍රස් පක්ෂය පසුගිය ජනවාරි 20 වනදා චෝදනා කළේ, කිසිදු අත්දැකීමක් නොමැතිව අදානි ව්‍යාපාර සමූහයට අයිති සමාගමකට ඉන්දීය සබ්මැරීන් නිෂ්පාදන ව්‍යාපෘතිය ලබාදී ඇති බවයි.
ඉන්දීය රුපියල් කෝටි 45,000 ක ව්‍යාපෘතියකි.
මීට අමතරව පාරිසරික ගැටලු පවා මතුවූ ව්‍යාපෘති ගණනාවක් මෝදි අගමැතිවරයාගේ ආණ්ඩුව පසුගිය කාලයේ අදානි ව්‍යාපාර සමූහයට ලබාදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් අනාවරණය වේ.
දැන් ඉන්දියාව අදානි ව්‍යාපාර සමූහයත් සමග කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අවධානය යොමුකරන්නේ ඇයි?
කොළඹ වරායේ දකුණු පර්යන්තය දැනටමත් ක්‍රියාත්මක වෙන්නේ චීනයට වැඩි කොටස් අයිතියක් තියෙන සමාගමකිනි.
හම්බන්තොට වරායේ වැඩි කොටස් වරාය අධිකාරියට ඇති බව පෙන්නුවත් ඇත්තටම බහලුම් හා අනෙකුත් මෙහෙයුම්වලින් ලාභ උපයන කොටස ඇත්තටම අයිති ඇත්තේ, චීනයටයි.
මේ වරාය දෙක දැනටමත් චීනය සමග සමීප නාවුක සමාගම් ගණනාවක් සමග ඒකාබද්ධව බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම් ඇතුළු මෙහෙයුම් පුළුල් කිරීමට සැලසුම් සකස් කර අවසන් ය.
එක් තීරයක් එක් මාවතක් කියන සංකල්පයෙන් ලෝකය ගොඩබිම හා මුහුදෙන් සම්බන්ධ කිරීම චීනයේ සැලැස්ම විය.
මේ සැලසුම තුළ ඉන්දීය සාගරයට ඔවුන් යෝජනා කරන්නේ පැරණි සේද මාවත යළි පණ ගැන්වීමයි.
එකිනෙක ඇමිණූ මුතු යන අරුත දෙන ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් ලෙස ඔවුන් මේ සංකල්පය හඳුන්වා දෙයි.
මෙහිදී සිදු වෙන්නේ චීනයේ සිට සුඩානය දක්වා නාවික ගමනා ගමන මාර්ගය වැඩි දියුණු කිරීමයි.
පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින සහ සෝමාලියාව එහිදී ඔවුන් උපාය මාර්ගිකව යොදාගන්නා කේන්ද්‍රස්ථානයන් ය.
මේ ස්ථානවල වරාය වැඩි දියුණු කිරීම ඔවුන් දැනටම ආරම්භ කර අවසන් ය.
හම්බන්තොට මේ ව්‍යපෘතියේ කේන්ද්‍රස්ථානයකි.
දැන් චීනයට මේක ක්‍රියාත්මක කරන්න දීලා ඉන්දියා බලාගෙන සිටී ද?
නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා චීනයේ මේ අභියෝගය ජයගන්න සාගර් මාලා නමින් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය.
මේ ව්‍යාපෘතියෙන් කරන්නේ චීන සැලසුමට ප්‍රතිවිරුද්ධව ඉන්දියාව වටා තිබෙන වරාය ගණනාවක් විශේෂ ආර්ථික කලාප විදිහට සංවර්ධනය කිරීමයි.
ඒ යටතේ දැනටමත් අදානි ව්‍යාපාර සමූහය වසීන්ජාම් වරායේ ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් පුළුල්කරන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
උපාය මාර්ගික විශ්ලේෂණ පෙන්වාදෙන ආකාරයට මේ වරාය සංවර්ධනය කිරීමේ උත්සාහය වෙලා තියෙන්නේ චීන හිතවාදී නාවික මෙහෙයුම් සමාගම් ශ්‍රී ලංකාවට ආකර්ශනයවීම නිසා චීනය සමග සමීප නැති අනෙකුත් නාවික ව්‍යාපාරික මෙහෙයුම් අත්පත් කරගැනීමයි.
ඒ අරමුණත් එක්ක බලද්දී ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අත්පත්කර ගන්න ලැබුනොත් චීන උපාය මාර්ගයට ප්‍රතිවිරුද්ධව ඔවුන්ගේ උපාය මාර්ගය සාර්ථක කර ගැනීමට හැකියාව පවතී .
දැන් ඉන්දියාව කියන්නේ ඇත්තටම කවුද?
පහුගිය වසරේ ඇමරිකාවේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්වරියක් ඉන්දීය සාගරය සම්බන්ධයෙන් ඇමරිකාව හා ඉන්දියාව එකම ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ය.
දැන් මේ කියන්නේ ඉන්දියාව ඉන්නේ ඇමරිකාවත් එක්ක කියන එක නොවෙයි ද?
එක පැත්තක චීනය, තවත් පැත්තක ඇමරිකාව ඉන්දියාවත් එක්ක.
දැන් අන්තිමට වෙන්නේ අපි විදේශීය බල අරගලයකට මැදිවෙලා ඉන්න එකයි.
ඒ කියන්නේ අපි හරියට ගිරියකට අහුවුණ පුවක් ගෙඩියක් වෙලා ඉන්න එකයි.