කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීම ගැන පැමිණිලි කළත් පොලීසිය ක්‍රියාත්මක වී නැහැ - පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්

by Chathuranga Rajapaksha 17-07-2020 | 10:09 AM
COLOMBO (News 1st): කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතත්, මේ දක්වා පොලීසිය ක්‍රියාත්මක වී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. අදාල මණ්ඩපය සේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබිණි. කුරුණෑගල මහ නගර සභාව විසින් කාලයක් තිස්සේ එම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගන ගොස් තිබේ. ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කෙරෙන්නේ ඉකුත් අඟහරුවාදා රාත්‍රීයේදීය. ඒ, එම ගොඩනැගිල්ල හා පෞරාණික ලී අට්ටාලය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ(16) දිනයේ මුල පිරීමට නියමිතව තිබියදීය. මේ පිළිබඳව අප ඊයේ කළ විමසීමකදී කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිවයන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බවය. නගාරාධිපතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අදාල අවසරය ලබා නොගැනීම සේම මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සඳහා මහ නගර සභාවට අවසර දුන්නේ නම් එය පුරාවිද්‍යා ආඥා පනත නොතකා හැරීමකි. මේ විනාශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපරේතමේන්තුව පොලීසිය වෙත පැමිණිලි කර පැය 24 ක් ඉක්ම ගොස් ඇතත් නීතිය ක්‍රියාත්මක වී නොමැත. මේ ඒ, සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වූ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා..