COLOMBO (News 1st) : අඩ වැටුප් හෝ රුපියල් 14500 ක අවම වැටුපක් ලබාදිය යුත්තේ දැනට සේවය නොගෙන නිවෙස්වල රැඳී සිටින පෞද්ගලික අංශයේ සේවකයින්ට පමණක් බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කටයුතු සීමා කිරීමට සිදුවු පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයින්ගේ රැකියා අහිමි නොකොට වැටුප් සීමා කිරීමට හාම්පුතුන්ගේ සංගම්, වෘත්තිය සමිති හා රජය අතර පැවති සාකච්ජාවලදී එකඟතාවන්ට පැමිණ තිබිණ.
තවමත් නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කර නොමැති ආයතන සේවකයින්ට අඩ වැටුප් ගෙවීම් සැප්තැම්බර් මාසය දක්වා පවත්වාගේන යාමට අදාළ ත්‍රෛපාක්ෂික සාකච්ජාවලදී එකඟ වි ඇති බව රජය ඊයේ නිවේදනය කළේ ය.
අද මේ පිළිබඳව පැහැදිලි කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව හා කම්කරු අමාත්‍යාංශ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.
කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර පැවුසවේ, කිසියම් ආයතනයක් ගෙදර සිට හෝ කාර්යාලයට පැමිණ හෝ ඔන්ලයින් ක්‍රමයට හෝ සම්පූර්ණ වැඩ ගනී නම් ඔවුන් පූර්ණ කාලීන සේවකයන් බවයි.
''50% හෝ මූලික වැටුපෙන් 50% හෝ 14500 කියන එක අදාළ වෙන්නේ වැඩ ලබාදීමට නොහැකිව, ගෙදර රඳවා සිටින සේවකයන්ට පමණයි. කිසියම් ආයතනයක් සම්පූර්ණ වැඩ ගනියි නම්, ගෙදර සිට හෝ කාර්යාලයට පැමිණ හෝ ඔන්ලයින් ක්‍රමයට හෝ ඔවුන් පූර්ණ කාලීන සේවකයන්. ඔවුන්ට අනිවාර්යෙන්ම වැටුප් සහ අනෙකුත් සේවා කොන්දේසී ඒ ආකාරයෙන්ම බලාත්මකයි''
මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා නිපුනතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පැහැදිලි කිරීමක් කළේ ය.
''මේ කාල සීමාව තුළ යම් යම් ආයතන ක්‍රියාකාරීත්වය වැඩි පූර්ණ තත්ත්වයට පැමිණ වැටුප් ගෙවාගෙන වැඩ කරගෙන යනවනම්, ඒ කිසිවක් අඩුවෙන්නේ නෑ. සම්පූර්ණ සේවය යොදාගන්නට බැරි තත්ත්වයක් සමහර ආයතනවලට ඒ තතත්වය පවතින නිසයි මේ දිගු කිරීමට ත්‍රෛපාක්ෂික එකඟතාවය පැමිණියේ''