by Staff writer 17-07-2020 | 9:43 PM
COLOMBO (News 1st) : අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල්වලින් පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 14 දෙනා ඇප මත මුදා හැර තිබේ.
මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද මෙම පිරිස ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
අයුතු ජනරාශිය, රජයේ නිලධාරීන්ට තුවාල සිදු කිරිම හා අනර්ථය යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබූ අතර නඩුව ලබන ඔක්තෝබර් මස 23 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
පසුගිය 11 වැනිදා රාත්‍රියේ පුද්ගලයෙකු මාර්ග බාධකයක් අසලදී පොලිස් නිලධාරියෙකු සමග ඇති වූ බහින් බස්වීමක් අතරතුර
වෙඩි වැදී මියගියේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මෙහ නඩු විභාගය ඊයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
පසුව අධිකරණ භූමිය ඉදිරිපිට සිටි පිරිසක් නොසන්සුන් ලෙස හැසිරුණු අතර අධිකරණය ඉදිරිපිට මාර්ගයද අවහිර කළ ඔවුන් අගුලාන පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණියහ.
එහිදී පොලීසයිට ගල් මුල් ප්‍රහාර එල්ල කෙරුණු අතර, පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසියට සිදුවිය.
කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනුණේ මෙම සිද්ධියෙන් පසුවයි.