‌ඓතිහාසික 13 වන සියවසට අයත් රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපති කඩා බිඳ දමයි

by Staff writer 16-07-2020 | 8:30 PM

COLOMBO (News 1st) - කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලීසිය දැනුවත් කර තිබියදීත් එය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය පිළිබඳව තම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ද වාර්තාවක් කැඳවා ඇති බවය. ප්‍රථමවරට කුරුණෑගල, රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජු විසින් සිය රාජ සභා මණ්ඩපය පවත්වාගන ගොස් ඇත්තේ ලීවලින් ඉදි කළ අට්ටාලයක් මතයි. කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙහි ආරක්ෂාව සඳහා පසු කාලයේදී ගොඩනැගිල්ලක් ඉදි කළේ ය. අදාළ මණ්ඩපයසේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුනි. කාලයක් තිස්සේ මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගන ගියේ කුරුණෑගල මහ නගර සභාවයි. ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කෙරෙන්නේ ඉකුත් අඟහරුවාදා රාත්‍රීයේදීය. ඒ, එම ගොඩනැගිල්ල හා පෞරාණික ලී අට්ටාලය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ මුල පිරීමට නියමිතව තිබියදීය. මේ පිළිබඳව අප ඊයේ කළ විමසීමකදී කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, ගොඩනැගිල්ලේ පිටිපස කොටසෙන් දිව යන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බවයි. නගරාධිපතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අදාළ අවසරය ලබා නොගැනීම සේම මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සඳහා මහ නගර සභාවට අවසර දුන්නේ නම් එය පුරාවිද්‍යා ආඥා පනත නොතකා හැරීමකි. සිදුව ඇති විනාශය ගැන සොයා බැලීම සඳහා කුරුණෑගල සාශනාරක්ෂක බලමණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා අද මෙම ස්ථානයට වැඩම කළහ. මේ විනාශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපරේතමේන්තුව පොලීසිය වෙත පැමිණිලි කර පැය 24 ක් ඉක්ම ගොස් ඇතත් නීතිය ක්‍රියාත්මක වී නොමැත.