'බ්ලූඕෂන්' සමූහය ගැන  CID යෙන් විමර්ශන

මූල්‍ය වංචාවක් හේතුවෙන් 'බ්ලූඕෂන්' දේපොළ සමාගම ගැන CIDයෙන් විමර්ශන

by Staff writer 16-07-2020 | 10:02 PM

COLOMBO (News 1st) - බ්ලූඕෂන් නමැති දේපොළ වෙළෙඳ සමාගම් සමූහය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාර්ශව ගණනාවකින් ලැබුණු පැමිණිලි මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි. කොළඹ හා තදාසන්න ස්ථානවල සුපිරි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භකර ගැණුම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන නියමිත කාලයේ දේපොළ ලබාදී නැතැයි පවසා මෙම සමාගමට එරෙහිව පැමිණිලි ගණනාවක් ආයතන කිහිපයකටම ඉදිරිපත්වී තිබේ. පසුගිය දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී එක් ගැණුම්කරුවෙකු ගොනුකළ නඩුවට අදාළව සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ. මේ අතර සහාධිපත්‍ය අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ.සී.එන්.ඩී දිසානායක මහතා පැවසුවේ, තම ආයතනයට ලැබුණු පැමිණිලි මත මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. බද්ධ නිවාස පනතේ ඇති ප්‍රතිපාදන අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. දිසානායක මහතා සඳහන් කළේ, පනතේ ප්‍රතිපාදන අනුව මාස 18 ක් තුළ ඔප්පු ලබාදීමට විකුණුම්කරු කටයුතු කළ යුතු බවයි. මෙම කාලය ඉක්මවා ඇති සිද්ධි සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව සහාධිපත්‍ය අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.