පළමු මහබැංකු බැඳුම්කර වංචාව ගැන දිර්ඝ විමර්ශන

පළමු මහ බැංකු බැඳුම්කර වංචාව ගැන තවදුරටත් දීර්ඝ විමර්ශන

by Staff writer 16-07-2020 | 7:02 PM

COLOMBO (News 1st) : පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශනය කරන බව නීතිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ පිළිබඳව විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 12 වැනි දා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. නීතිපතිවරයා වෙනුවෙන් අද දින අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කළ පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගම හරහා 2015 වසරේදී මහ බැංකු බැඳුම්කර මිලදී ගැනීම සඳහා ස්ටෙලා අයිරාංගනී දිසානායක සහ සුනිල් ප්‍රේමරත්න නැමති දෙදෙනා ආයෝජනය කර ඇති මුදල් කල්පිරී ඇත්නම් ආපසු ගෙවීමට නියෝගයක් කරන්නැයි එම ආයෝජකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම මුදල් ගෙවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට නියෝග කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධත්වයක් නොදක්වන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය. නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් හා කසුන් පාලිසේන ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/524268324964235/