තජුඩීන් ඝාතනය: CIDයෙන් අධිකරණයට දැනුම් දීමක්

තජුඩීන් ඝාතනය: එවක කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාට මිය ගිහින් - CIDය අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 16-07-2020 | 8:34 PM

COLOMBO (News 1st) - වසීම් තජුඩීන් ඝාතන නඩුවේ සැකකරුවන් වන එවක කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මියගොස් ඇතැයි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කළණි පෙරේරා මහත්මිය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතායි. මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මියගොස් ඇති බවටත්, සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ලවී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා දැඩි ලෙස රෝගාතුරව නේවාසිකව ප්‍රතිකාර ලබන බවටත් එහිදී ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය. කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය නොවැම්බර් 19 වැනි දා නඩුව යළි කැඳවීමට දින නියම කර ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළේ ය. නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් තිබූ රගර් ක්‍රීඩක වසිම් තජුඩීන් මහතාගේ සිරුර හමුවූයේ 2012 වසරේ මැයි 17 වැනි දායි. රිය අනතුරකින් සිදු වූ බවට මුලින් වාර්තා වූ එම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් පසුව එය ඝාතනයක් ලෙස සළකා දැන් අධිකරණ ක්‍රියාවළිය සිදුවේ.